Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්ලැක්වුඞ්ගේ පිතිහරඹය කොදෙව් පිලට ජය ගෙනෙයි

බ්ලැක්වුඞ්ගේ පිතිහරඹය කොදෙව් පිලට ජය ගෙනෙයි

editorial - 2020 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ජර්මේන් බ්ලැක්වුඞ්ගේ (95) විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් එංගලන්තයට එරෙහිව සදම්ප්ටන්හී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 4 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල අද (12 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද කොදෙව්වෝ සමත්වූහ.

ලකුණු 27 කට කඩුලු 3 ක් දැවී කොදෙව් පිල දැඩි අසීරූතාවයකට පත්ව සිටින අවස්ථාවක පිටියට පිවිසි ජර්මේන් බ්ලැක්වුඞ් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු 154 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 12 ක් සමගින් ලකුණු 95 ක් රැස්කර සිටියදී බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවකට ජේම්ස් ඇන්ඩර්සන් අතට උඩපන්දුවක් දෙමින් බ්ලැක්වුඞ් දැවී ගියේය.

ජොෆ්රා ආචර් ඇතුළු වේගපන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ දිවා ආහාරයට තරගය නතර කරනවිට කොදෙව් පිල ලකුණු 35 ක කඩුලු 3 ක් අහිමි කරගෙන සිටියද දිවා ආහාරයත් තේ පානයත් අතර කාළය තුල ලකුණු 108 ක් රැස්කළ ඔවුන් අහිමිකර ගත්තේ එක් කඩුල්ලක් පමණි.

ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට ක්‍රෙග් බ්‍රැත්වේට් සහ ජෝන් කැම්බල් පිටියට පිවිසියද සිව්වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ජොෆ්රා ආචර්ගේ පන්දුවක් වැදීමෙන් පාදයේ ඇඟිලි ප්‍රදේශයේ අස්ථී බිඳීමක් සිදුවීම නිසා ජෝන් කැම්බල්ට තාවකාලිකව පිටියෙන් ඉවත්වීමට සිදුවිය. නමුත් 6 වැනි කඩුල්ල ලෙස ජර්මේන් බ්ලැක්වුඞ් දැවීයාමෙන් පසු පිටියට පිවිසි ජෝන් කැම්බල් කොදෙව් පිලේ ජයග්‍රාහී ලකුණ වාර්තා කලේය.

කොදෙව් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ක්‍රෙග් බ්‍රැත්වේට් ලකුණු 4 ක් ලබාසිටියදී ජොෆ්රා ආචර්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර නැවත ක්‍රියාත්මකවූ ඔහු ඊළඟ ඕවරයේදී ශමාර් බෘක්ස් ලකුණු ලබාගැනීමට ප්‍රථම පිටියෙන් ඉවත් කළේය. ඒ වනවිට කොදෙව් ලකුණු පුවරුම කඩුලු 2 කට ලකුණු 7 ක් ලෙස දිස්විය. පන්දුවට අතර ගත් පළමු ඕවරයේදීම ලකුණු 9 ක් ලබාසිටි ෂායි හොප් පිටියෙන් ඉවත් කිරීමට මාක් වුඞ් සමත්විය.

ජර්මේන් බ්ලැක්වුඞ් සහ රොස්ටන් චේස් (37) එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 73 ක අඩිතාලම හේතුවෙන් කොදෙව් පිලේ ජයග්‍රාහී හැඟීම් නැවත පුබුදු විය.

ලකුණු 37 ක් රැස්කර සිටියදී ජොෆ්රා ආචර් එවන ලද බවුන්සර් පන්දුවෙන් ගැලවීමට රොස්ටන් චේස් උත්සහ කළද අත් ආවරණවල වැදී ඉහළ නැගි පන්දුව ජොස් බට්ලර් පහසුවෙන් රැකගත්තේය. පන්දු 88 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි චේස්ගේ ඉනිමට එක් හතරේ පහරක් ඇතුළත් විය.

ජොෆ්රා ආචර් කඩුලු 3 ක්, බෙන් ස්ටෝක්ස් කඩුලු 2 ක් සහ මාක් වුඞ් කඩුල්ලක් දවාගැනීමට සමත්වූහ.

තරගයේ සිවුවැනි දිනය වූ පෙරේදා (11) තරගය අවසන් කරන විට ලකුණු 284 කට කඩුලු 8 ක් අහිමිකර ගෙන සිටි එංගලන්ත කණ්ඩායමට අද උදෑසන ඉතිරි කඩුලු 2 අහිමිකර ගනිමින් ලබාගැනීමට හැකිවූයේ තවත් ලකුණු 29 ක් පමණි. මාර්ක් වුඩ් සහ ජොෆ්රා ආචර් පිටියෙන් ඉවත් කළ ෂැනන් ගේබි්‍රයෙල් සිය ටෙස්ට් දිවියේ කඩුලු 5 බැගින් දවාගත් හයවැනි අවස්ථාව සනිටුහන් කිරීමට සමත්විය.

කඩුලු රකින ෂේන් ඩව්රිච් අතට උඩපන්දුවක් දෙමින් මාක් වුඩ් ලකුණු 2 කට දැවීයන විට එම ආකාරයටම ජොෆ්රා ආචර්ද ලකුණු 23 කට දැවී ගියේය.

එංගලන්තය - පළමු ඉනිම 204

බටහිර ඉන්දීය කොදෙව් පිල - පළමු ඉනිම 318

එංගලන්තය - දෙවැනි ඉනිම 313
(රෝරි බර්න්ස් 42, ඩෙමිනික් සිබ්ලි 50, ජෝ ඩෙන්ලි 29, සැක් ක්‍රෝලි 76, බෙන් ස්ටෝක්ස් 46, ජොෆ්රා ආචර් 23, ෂැනන් ගේබි්‍රයෙල් 75/5, ජේසන් හෝල්ඩර් 43/1, රොස්ටන් චේස් 71/2, අල්සාරි ජෝෂප් 45/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - දෙවැනි ඉනිම කඩුලු 6 ක් දැවී 200
(ජර්මේන් බ්ලැක්වුඞ් 95, රොස්ටන් චේස් 37, ෂේන් ඩව්රිච් 20, ජොෆ්රා ආචර් 45/3, බෙන් ස්ටෝක්ස් 39/2)


-2079


අදහස් (0)

බ්ලැක්වුඞ්ගේ පිතිහරඹය කොදෙව් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.