Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බදුල්ල ප්‍රිමියර් ලීග් ‘මනඃකල්පිත’ තරගාවලිය

බදුල්ල ප්‍රිමියර් ලීග් ‘මනඃකල්පිත’ තරගාවලිය

editorial - 2020 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නවුෂාඩ් අමිත් විසිනි)

ජුනි 29 වන දින බදුල්ල ක්‍රිකට් පිටියේදී ආරම්භ වූයේ යයි කියූ ‘ඌව විස්සයි-20‘ ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් මනඃකල්පිත තරගාවලිය ඉන්දියාවේ මොහාලි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් දිනකට පසුව නවත්වන ලදී. මෙම තරගාවලිය අවසන් වූයේ වීර කාව්‍යයක් පරිද්දෙනි.

සිදුවීම් මාලාව ප්‍රබන්ධයක් මෙන් පෙනුනද එය සත්‍යයකි.

සජීවී විස්තර විචාරයට අනුව නම් මෙම තරගාවලිය පැවැතියේ ශ්‍රී ලංකාවේ ඌව පළාතට අයත් බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. තරගාවලියට සහභාගි වූ සෑම කණ්ඩායමකටම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 15 බැගින් බැගින් සිටි අතර පුදුමයට කරුණක් නම් ඔවුන්ගෙන් කිසිවෙකු තමන් එහි සිටින බව නොදැන සිටීමයි. කෙසේ වෙතත් අවසානයේදී ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ මොහාලි පොලිසිය විසින් මෙම තරගාවලිය මැදට කඩා වැදී එය පැවැත්වීමට බාධා කරන ලදි.

තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒ වෙනුවෙන් විශාල ප්‍රසිද්ධියක් දී තිබිණ. මෙම ප්‍රචාරයේ අරමුණ වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඌව පළාත් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ගණනාවක් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයන් වන ඩයලොග් සමාගමත් මෙම තරගාවලියට එක්වන බව පැවසීමයි. එහෙත් අවසන් මොහොතේදී මෙම තරගාවලිය පිළිබඳ ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හතර අතේ පැතිර  යාමට පටන් ගන්නා තුරුත් මෙම ආයතන හෝ ක්‍රීඩකයන් තමන්ගේ නම් ඊට ඈඳා ඇති බව නොදැන සිටියහ.

මෙම තරගාවලිය එහෙම පිටින්ම ප්‍රබන්ධයකි. නැතහොත් මිථ්‍යාවකි.

කෙසේ වෙතත් මෙම තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මොහාලි පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ ‘420 වගන්තියට‘  අනුව වංචා සහ සූදු නීති යටතේ ඔවුන්ට චෝදනා ගොනු කර තිබේ.

මෙම තරඟාවලියට ඩ්‍රීම් ස්පෝර්ට්ස් වැනි ඉන්දියානු පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්වයක් ඇති බවක් ප්‍රකාශ කෙරිණ. යූ-ටියුබ්, මුහුණු පොත සහ සී 5 යන නාලිකා ඔස්සේ තරගාවලිය සජීවීව විකාශනය කිරීමටත් කටයුතු යොදා තිබිණ. ඇතැම් වෙබ් අඩවි ඔස්සේ සජීවී ලකුණු සටහන් යාවත්කාලීන කිරීමටත්, ඔවුන්ගේ ලාංඡන යොදාගැනීමටත් කටයුතු යොදා තිබූ නමුත් තමන් ඊට කිසිම සම්බන්ධයක් නැති බව එම වෙබ් අඩවි හිමිකරුවෝ ‘ද සන්ඩේ ටයිම්ස්‘ පුවත් පතට ප්‍රකාශ කළහ.  

ඕනෑම ඉහළ පෙළේ ක්‍රිකට් තරඟාවලියකදී මෙන්, සංවිධායකයින් විසින් තරඟාවලිය පිළිබඳ තොරතුරු ගොඩනඟා ඇත්තේ විශිෂ්ට ආකාරයෙනි.

වැල්ලවාය වයිපර්ස්, මොණරගල හෝනට්ස්, බදුල්ල සී-ඊගල්ස් සහ මහියංගන යුනි ලයන්ස් යන කණ්ඩායම් හතර තරගාවලිය සඳහා සහභාගි වෙන බව කීහ. ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් වන අජන්ත මෙන්ඩිස්, ටී. එම්. ඩිල්ෂාන්, ෆර්වීස් මහරූෆ් සහ තිලාන් තුෂාර ඒ ඒ කණ්ඩායම් වල නායකයෝ වූහ.

මෙම මනඃකල්පිත තරගාවලිය ජුනි 29 සිට ජූලි 5 දක්වා දින හතක් පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබිණ. ඊට තරග 14 ක් ඇතුළත් වූ අතර තෙවන ස්ථානය තේරීමේ තරගයක් සහ අවසන් මහ තරගයකින් තරගාවලිය සමන්විත විය.

සියලුම කණ්ඩායම්වල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පමණක් සිටින අතර, එක් එක් කණ්ඩායමට සුවිශේෂී ක්‍රීඩකයෙක්ද සිටියේය. තරමක් ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දසුන් ශානක, බිනූර ප්‍රනාන්දු, චෙතන් ද සිල්වා, චතුරංග කුමාර, උමේෂ් කරුණරත්න, සචිත්‍ර සේරසිංහ සහ මහේල උඩවත්ත ක්‍රිකට් ලෝලීන් අතර නමක් දිනාගත්තෝ වූහ.

 පුදුමයට කරුණක් නම් ක්‍රිකට් ලෝලීන් වූයේ පන්ජාබ් ප්‍රාන්තයෙන් මිස ශ්‍රී ලංකාවෙන් නොවේ.

කෙසේ වෙතත් තරඟාවලිය පැවතියේ දිනක් හෝ දෙකක් පමණි. ජුලි 30 වැනිදා පන්ජාබ් ප්‍රාන්ත අධිවේගී මාර්ගයේ, චන්දිගාර් සිට කිලෝමීටර් 16 ක් දුරින් පිහිටි, සවරා ගම්මානයේ ස්ට්‍රෝකර්ස් ක්‍රිකට් සංගමයට මොහාලි පොලිසියේ නිලධාරීහු කඩා පැන්නෝය. තරග වලට සහභාගි වෙමින් සිටි ක්‍රීඩකයන්ට පහර දී තරඟාවලිය නැවැත්වූහ. පසුව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

කතාව තවදුරටත් තේරුම්ගැනීම සඳහා මෙසේ සටහන් කළ හැකිය.

ක්‍රීඩකයින් 60 දෙනාගෙන් කිසිවෙක් ශ්‍රී ලාංකිකයකු නොවීය. සියල්ලෝම පන්ජාබ් ප්‍රාන්තයේ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති. ඔව්හු වෙස් මුහුණු පැළඳ සිටියහ. එහෙත් ජර්සි පිටුපස  ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නම් මුද්‍රණය කර තිබිණ.

සමාජ මාධ්‍යවල ඇති වාර්තා සහ වීඩියෝවලට අනුව, තරඟ අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශනය කරන ලද නමුත් බාල තත්ත්වයේ පහසුකම් පමණක් ඇති මූලික කැමරා තුනක් පමණ භාවිතා කෙරිණ. මෙම කැමරා කෙතරම් බාල වර්ගයේද කිවහොත් රූප රාමුව විශාලනය කළ විට පවා ක්‍රීඩකයන් හඳුනාගත නොහැකි විය. ක්‍රීඩකයන්ගේ මුහුණු අපැහැදිලි වූ අතර ඔවුන්ට තිබූ එකම අනන්‍යතාවය වූයේ ජර්සි පිටුපස ඇති නම් පමණි.

ක්‍රීඩාංගණයේ පසුබිම 'ශ්‍රී ලංකාව' සහ 'බදුල්ල' ලෙස පෙනෙන්නට සකස් කර තිබිණ. භූමියේ තණකොළ වැඩිපුර තිබූ අතර ජාතික කණ්ඩායම් අනුග්‍රාහක 'ඩයලොග්' ලාංඡන භූමිය වටා තිබුණි. නමුත් සජීවී විස්තර විචාරය මෙන්ම තරගයේ පූර්විකාවද විශේෂ අවස්ථාද ඉන්දියානු භාෂාවෙන් විය. ඌව යන වචනය විස්තර විචාරකයින්ට උච්චාරණය කළ නොහැකි විය. එබැවින් විචාරකයෝ ඌව යන්න 'යූ', 'වී', 'ඒ' ලෙස වෙනම අක්ෂර ලෙස උච්චාරණය කළහ.

ඉන්දියාවේ මාධ්‍ය වාර්තා වලින් සනාථ වන්නේ ක්‍රීඩකයින් සියල්ලන්ම 'වංචාකරුවන්' බවත් ඔවුන්ගේ සහ සංවිධායකයින්ගේ අරමුණු ඉෂ්ඨවන පරිදි මෙම ක්‍රීඩකයන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ලෙස පෙනී සිටි බවත්ය. ඉන්දියානු මාධ්‍යවලට අනුව තරගයේ විස්තර විචාරයේ නියැළී සිටි විචාරකයා පන්දුව රැකගැනීම සඳහා යමින් සිටි ක්‍රීඩකයා  හඳුනා ගැනීමට කරදර නොවූ අතර උඩපන්දුවක් ඉහළ ගිය අවස්ථාවකදී ඇසුනේ මෙවන් වදන් වැලකි.

“යම්කිසිවෙක් එය අල්ලා ගත යුතුයි.... කොල්ලෙක් පන්දුව යටට යනවා මට පෙනෙනවා“ වැනි වගන්තියකි. එය තනිකරම ‘තක්කඩි‘ ක්‍රමවේදයක් විය.

තරඟාවලියේ පළමු දිනය අවසන් වන තුරුම ඒ සියල්ල සුමටව පැවතිණ. එහෙත් අවසන් මොහොතේදී සියල්ල වැරදී ගියේය.

ඩ්‍රීම් ස්පෝර්ට්ස් හි අනුබද්ධ සමාගමක් වන ‘ෆෑන්කෝඩ්‘ සමාගම විසින්  තරඟ දෙකකින් පසුව ඔවුන්ගේ සජීවී විකාශය නවතා දමන ලදි.  ඊට හේතුව වූයේ මෙම තරග තමන් විසින් අනුමත කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති නිලධාරීන් ඔවුන්ට දැනුම් දීමයි.

පසුගිය සතිය මුලදීම ටී. එම්. ඩිල්ෂාන්, ෆර්වීස් මහරූෆ්, අජන්ත මෙන්ඩිස් සහ තිලාන් තුෂාර යන ක්‍රීඩකයන් සිව්දෙනා එවැනි තරඟාවලියක් සඳහා තමන් සම්බන්ධ නැති බව අවධාරණය කළහ.  ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක් ඔවුන් සිව්දෙනාටම වීඩියෝ ඇමතුම් දෙමින් ඒ බව තහවුරු කර තිබිණ.

පසුගිය ඉරිදා ප්‍රසේන් මෝගල් නම් පුද්ගලයෙක් ට්විටර් වෙබ් අඩවියේ පළ කර තිබුණේ “ශ්‍රී ලංකාවේ සජීවී විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට සූදානම්! ජුනි 29 වනදා එය ආරම්භ වේ.“ යනුවෙනි.
එහෙත් මහරුෆ් එය එදිනම ප්‍රතික්ෂේප කළේය. ඒ අතරම ඉන්දියාවේ ප්‍රධානතම වෙබ් අඩවියක් විසින් ප්‍රකාශ කරන ලද්දේ “ඌව ප්‍රිමියර් ලීගය වංචාවක්“ බවයි.

ජූනි 30 වැනිදා, අඟහරුවාදා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කරමින්, ඌව ප්‍රිමියර් ලීග් ටී-20’ යන නාමය යටතේ හඳුනා නොගත් පාර්ශ්වයක් විසින් සංවිධානය කරනු ලබන තරගාවලිය
තමන් විසින් අනුමත නොකළ තරගාවලියක් බව පැහැදිලි කළේය.

“ඌව ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරඟය බදුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව පවසමින් ඉන්දීය වෙබ් අඩවි කිහිපයක් ජූනි 29 වන දින ලකුණු පුවරුවක් පවා ප්‍රචාරය කර ඇති බව සටහන් විය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එවැනි තරඟාවලියක් නොපැවැත්වූ බව මෙන්ම  ශ්‍රී ලංකාවේදී නොපැවැත්වෙන බවත් තහවුරු කරයි“ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ සටහන් විය.

ඉන්දීය මාධ්‍ය වාර්තා වලට අනුව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සැක කරන්නේ  මෙම තරඟාවලිය ඔට්ටු ඇල්ලීම සඳහාම නිර්මාණය කළ තරගාවලියක් බවයි.

ලියාපදිංචි ක්‍රීඩකයින් කිසිවෙකු එහි කොටස්කරුවන් නොවන බව සනාථ කරයි. ඒ සියල්ල සිදුවූයේ කෙසේද සහ කොතැනද යන්න සහ එය සංවිධානය කළ පුද්ගලයින්ගේ අභිප්‍රාය පිළිබඳව සොයා බලන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පොලිසියෙන් ඉල්ලා සිටියේය.

තවත් මාධ්‍ය වාර්තාවලට අනුව, සවර ගම්මානයේ පදිංචිකරුවෝ පවා සිදුවන්නේ කුමක්ද යන්න නොදැන සිටියහ. ක්‍රීඩාංගණය වෙන්කරවා ගැනීම ස්ට්‍රෝකර්ස් ක්‍රිකට් සංගමයේ නිලධාරියෙකුගේ මිතුරෙකු විසින් පුද්ගලිකවම  කර ඇති අතර මොහාලි පොලිසිය පැමිණ තරඟ නතර කරන තෙක් එහි සිදුවන්නේ කුමක්ද යන්න අසල්වාසීන් පව දැන සිට නැත.

“ඔවුන් ශ්‍රී ලංකාවේ නම භාවිතා කරමින් තරඟ පවත්වන බව අපට දැනගන්නට ලැබුණා, පරීක්ෂණයෙන් පසුව අපි අවශ්‍ය පියවර ගත්තා“ යයි ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

(ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි)


අදහස් (0)

බදුල්ල ප්‍රිමියර් ලීග් ‘මනඃකල්පිත’ තරගාවලිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.