Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ යොවුන් පිල ලෝක කුසලාන අවසන් තරගයට

බංග්ලාදේශ යොවුන් පිල ලෝක කුසලාන අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශ යොවුන් පිල අද (6 වැනිදා) සමත් විය. පොචෙස්ට්‍රෝම්හිදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී නවසීලන්ත යොවුන් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

ඒ අනුව බංග්ලාදේශ යොවුන් පිල යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්විය. 2016 වසරේ පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ඔවුහු සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් පිල ඕවර 44.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත් විය. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ හසන් ජෝයි පන්දු 127 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 100 ක් රැස්කළේය. 

හසන් ජෝයිට අනගි සහයක් ලබාදුන් තව්හිඞ් රිඩෝයි පන්දු 47 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 40 ක් ලබාගත් අතර ශහදත් හුසේන් නොදැවී ලකුණු 40 ක් රැස්කරමින් බංග්ලාදේශ යොවුන් පිලේ ජයග්‍රහණය දායක විය. හසන් ජෝයි සහ තව්හිඞ් රිඩෝයි එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 125 කදී ලකුණු 101 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත යොවුන් පිලට නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 211 ක් පමණි. මැද පෙළ පිතිකරු බෙකම් වීලර්ගේ අර්ධ ශතකය හේතුවෙන් නවසීලන්ත යොවුන් පිලට ලකුණු 200 සීමාවෙන් ඔබ්බට යෑමට අවස්ථාව හිමිවිය. පන්දු 83 කට මුහුණදුන් වීලර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 75 ක් රැස්කළේය. 

බෙකම් වීලර්ට අනගි සහයක් දුන් නිකලස් ලිඞ්ස්ටන් පන්දු 74 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 44 ක් ලබාගත් අතර වීලර් සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 90 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය. සෙසු පිතිකරුවන්ගේ සහයෝගය නොලැබිම හේතුවෙන් නවසීලන්ත යොවුන් පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි විය. 

ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 3 ක් ද, ශමීම් හුසේන් සහ හසන් මුරාඞ් කඩුලු 2 බැගින්ද දවාගනිමින් නවසීලන්ත යොවුන් පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත් වූහ. 

බංග්ලාදේශ යොවුන් පිලේ වත්මන් පුහුණුකරුවා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වමත් පිතිකරුවකු වන නවීඞ් නවාස් මහතාය. 

නවසීලන්ත යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 211
(ෆර්ගස් ලෙල්මන් 24, නිකලස් ලිඞ්ස්ටන් 44, බෙකම් වීලර් නොදැවී 75, ශොරිෆුල් ඉස්ලාම් 45/3, ශමීම් හුසේන් 31/2, හසන් මුරාඞ් 34/2)

බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 44.1 කදී කඩුලු 4 ක් දැවී 215
(හසන් ජෝයි 100, තව්හිඞ් රිඩෝයි 40, ශහදත් හුසේන් නොදැවී 40)

 


අදහස් (0)

බංග්ලාදේශ යොවුන් පිල ලෝක කුසලාන අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.