Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකරුවෝ කීර්තිය මුහුදට විසිකරති

පිතිකරුවෝ කීර්තිය මුහුදට විසිකරති

රොෂාන් ගුණරත්න - 2021 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 135 කට දැවී යාමෙන් අගාධයට තල්ලු කර දැමූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිය, අනතුරුව පැවැති පිට පිට ටෙස්ට් ඉනිම දෙකකදී ලකුණු 359 ක් සහ 381 ක් ලබාගනිමින් ගොඩගත් පිතිකරුවෝ, දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී නැවතත් මුහුදට වීසිකර දැමූහ. 

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (25 වැනිදා) කඩුලු 6 ක විශිෂ්ට ජයක් ලබාගත් එංගලන්තය 2-0 ක තරගාවලි ජයක් ලබාගත්තේය. ඒ අනුව යන්තම් වසර දෙකක කාලයක පරතරයක් හිමි ටෙස්ට් තරගාවලි දෙකකදී ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරග 5 කින් තරග 5 ම ජයගැනීමට ජෝ රූට්ගේ එංගලන්ත කණ්ඩායම සමත් වී සිටී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැති මෙම තරගාවලියෙන් එංගලන්තයට ප්‍රසාද ලකුණු 120 ක් හිමිවිය.

ආරම්භක පිතිකරු ඩොම් සිබ්ලි සහ ජොස් බට්ලර් එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 75 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. මිනිත්තු 181 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටි ඩොම් සිබ්ලි පන්දු 144 කට මුහුණදෙමින් හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් ලබාගත් අතර මිනිත්තු 77 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටි ජොස් බට්ලර් පන්දු 48 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් ලබාගත්තේය. 

එංගලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට දඟපන්දු යවන්නන් තිදෙනෙක් පමණක් යොදා ගැනීමට නායක චන්දිමාල් කටයුතු කළ අතර ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 ක් සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ලක් දවාගත්තේය. පළමු කඩුලු කිහිපය දවාගන්නා විට එංගලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් ලබාදුන්නද පසුව පන්දු යවන්නන්ගෙන් ග්‍රහණය ගිලිහී ගිය අතර ඉන් ප්‍රයෝජන ගත් එංගලන්ත පිතිකරුවෝ පහසුවෙන් ජයග්‍රහණය කරා ගියහ.

පළමු ඉනිමේ ලබාගත් කඩුලු 7 ත් සමගින් ලකුණු 210 කට කඩුලු 10 ක් දවාගත් ලසිත් ඇඹුල්දෙණිය සිය ටෙස්ට් දිවියේ පළමු කඩුලු 10 සම්පූර්ණ කරමින් හොඳම පන්දු යැවීමද වාර්තා කළේය.

ශ්‍රී ලංකා පිල ලකුණු 37 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹුවද පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් දෙවැනි ඉනිම ලකුණු 126 කට සීමා කිරීමට එංගලන්ත දඟපන්දු යවන්නෝ සමත්වූහ. මාරුවෙන් මාරුවට කඩුලු දඩයම ඇරඹූ ඩොමිනික් බෙස් සහ ජැක් ලීච් කඩුලු 4 බැගින් බෙදාගත් අතර අවසන් කඩුලු දෙක නායක ජෝ රූට්ට හිමිවිය.

පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට එක්වූ ලසිත් ඇඹුල්දෙණිය පහසුවෙන් ලකුණු 40 ක් ලබා ගන්නා විට මුල් පිතිකරුවන් 6 දෙනාටම රැස්කිරීමට හැකිවූයේ ලකුණු 51 ක් පමණි. ආරම්භ පිතිකරුවන්වූ කුසල් පෙරේරා ලකුණු 14 ක් සහ ළහිරු තිරිමාන්න ලකුණු 13 ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන් සිව්දෙනාට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය. 

ශ්‍රී ලංකා පළමු ඉනිමේ සියලු කඩුලු වේගපන්දු යවන්නන් දවාගත්තද දෙවැනි ඉනිමේදී වේගපන්දු යවන්නන් ඕවර 4 කට පමණක් සීමාකළ නායක ජෝ රූට් දඟපන්දු යවන්නන්වූ ඩොමිනික් බෙස් සහ ජැක් ලීච් පන්දු යැවීම සඳහා කැදවූහ. 

ජැක් ලීච් යවන ලද පළමු ඕවරයේ දෙවැනි පන්දුවටම කුසල් ජනිත් ස්ලොග් ස්විප් පහරකට යොමු වූ අතර පිත්තේ නොවැදුණු පන්දුව පසු පාදයේ ඉහළ කොටසේ වැදුණේ පන්දු 25 ක් ඇතුළත ඔහුගේ ඉනිම නිමා කරමිනි. 

කුසල් කඩුල්ල මුවා කළේ යැයි පන්දු රකින්නන් කළ ඉල්ලීම පිළිගත් විනිසුරු කුමාර් ධර්මසේන එය දැවීයාමක් ලෙස ප්‍රකාශ කළේය. නමුත් ඉන් සෑහිමකට පත්නොවූ කුසල් ජනිත් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි ළහිරු තිරිමාන්න සමගින් සාකච්ඡා කර විනිසුරු තීරණයට අභියෝග කළේය. පුනරූපණ නරඹනවිට පන්දුව කඩුල්ලේ ඉහළ කොටසේ යාන්තමින් වැදෙන ආකාරයක් දිස්වූ අතර ප්‍රධාන විනිසුරු විසින් දැවීයාමක් ලෙස තීරණය කර තිබිම හේතුවෙන් එම තීරණය සමගින් එකඟවීමට තෙවැනි විනිසුරුවරයාටද සිදුවිය.

පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී ගිය ඕෂධ ප්‍රනාන්දුට (3) වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඩොම් බෙස්ගෙන් අවස්ථාවක් හිමිනොවීය. පන්දුවේ දඟකැවීමත් සමගින් පිත්තේ සහ පා ආවරණයේ වැදුණු පන්දුව පහසු උඩපන්දුවක් ලෙස ෂෝට් ලෙග්හී පන්දු රකිමින් සිටි සැක් ක්‍රෝලි අතට ගියේය. දිගින් දිගටම ලකුණු අතර නොසිටි කුසල් මෙන්ඩිස් වෙනුවට කණ්ඩායමට කැඳවු ඕෂධ ප්‍රනාන්දුගෙන් පිතිකරුවකු වශයෙන් කිසිදු සේවයක් නොලැබිණ. 

ලකුණු 37 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී අනෙක් අන්තයේ පිතිකරුවාගේ කඩුල්ලද ආරක්‍ෂා කරගනිමින් කඩා වැටුණු ඉනිම ගොඩනැගීම නායකයකුගේ වගකීමක් වුවද චන්දිමාල් සිය කඩුල්ල බන්දේසියක තබා එංගලන්තය වෙත පූජා කළේය. කිසිදු වගකීමකින් තොරව පන්දුවට පහරදුන් දිනේෂ් චන්දිමාල්, වමතින් දඟපන්දු යවන ජැක් ලීච්ගේ ඕවරයේදී අවදානම් පහර එල්ල කරමින් හතරේ පහර දෙකක් ලබාගත්තේය. 

එම ඕවරයේ අවසන් පන්දුවේදීද පන්දු රකින්නන්ගේ හිසට ඉහළින් වේගවත් පහරක් එල්ල කිරීමට යාමේදී මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජේම්ස් ඇන්ඩර්සන් පසුපසට දුවගොස් රැකගත් දක්ෂ උඩපන්දුව හේතුවෙන් ලකුණු 9 ක් රැස්කර සිටි චන්දිමාල්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ළහිරු තිරිමාන්න (13), ඇන්ජලෝ මැතිව්ස් (5) සහ නිරෝෂන් දික්වැල්ලගේ (7) පිතිහරඹයන්ද ජේෂ්ඨ ක්‍රීඩකයින්ට ඔබින පිතිහරඹයන් නොවීය. 

ලකුණු 78 කට කඩුලු 8 ක් දැවී තිබියදී 9 වැනි කඩුල්ල සඳහා එක්වූ ලසිත් ඇඹුල්දෙණිය සහ සුරංග ලක්මාල් (නොදැවී 11) ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලට තරමක සහනයක් ගෙන දීමට සමත්වූහ. අංක 10 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 40 ක් රැස්කරමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

දිගින් දිගට පන්දු යැවූ නිත්‍ය දඟපන්දු යවන්නන් දෙදෙනා වන ඩොමිනික් බෙස් සහ ජැක් ලීච් දෙදෙනාම  9 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ හෙළීමට අපොහොසත්වීම නායක ජෝ රූට්ට හිසරදයක් බවට පත්විය. තව දුරටත් මෙම සම්බන්ධතාවය දිග්ගැස්සෙන අයුරු බලා සිටීමට නොහැකිවූ ජෝ රූට් තමන්ගේ දඟපන්දුවෙන් වැඩක් ගැනීමට සිතා පන්දුව අතට ගත්තේය. 

පළමු ඕවරය නිලකුණු ඕවරයක් ලෙස අවසන් කළ රූට් දෙවැනි ඕවරයේ සිව්වැනි පන්දුවේදී 9 වැනි කඩුල්ලේ සම්බන්ධතාවයට තිත තබමින් ලසිත් ඇඹුල්දෙණිය දවාගත් අතර අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි අසිත ප්‍රනාන්දුට යවන ලද පළමු පන්දුව පිත්තේ වැදී කඩුල්ල වෙත ගියේ ශ්‍රී ලංකා ඉනිම 126 දී නතර කරමිනි. 


අදහස් (0)

පිතිකරුවෝ කීර්තිය මුහුදට විසිකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.