Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකරුවෝ එංගලන්තයට ජය ගෙනෙති

පිතිකරුවෝ එංගලන්තයට ජය ගෙනෙති

editorial - 2019 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔයින් මෝගන් (148), ජොනී බෙයාර්ටෝ (90) සහ ජෝ රූට්ගේ (88) පිතිහරඹය හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ මැන්චෙස්ටර්හිදී අද (18 වැනිදා) පැවැති 24 වැනි තරගයේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලකුණු 150 ක ජයක් හිමිකර ගැනීමට එංගලන්තය සමත්විය. ඒ අනුව අද තරගයේදී ප්‍රසාද ලකුණු 2 ක් හිමිකරගත් එංගලන්තය ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 398 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්තානයට ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 247 ක් පමණි. අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ හෂ්මතුල්ලා ශහිඩි ලකුණු 75 ක් රැස්කර සිටියදී ජොෆ්රා ආචර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. පන්දු 100 කට මුහුණදුන් හෂ්මතුල්ලා ශහිඩිගේ ඉනිම හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 කින් අලංකාර විය.

ගුල්බදින් නයිබ් ලකුණු 37 ක්, රහ්මට් ෂා ලකුණු 46   ක් සහ අස්ගර් ඇෆ්ගන් ලකුණු 44 ක් රැස්කරමින්  ඇෆ්ඝනිස්තාන් ලකුණු පුවරුව ඉහළ දැමූවද  ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

 

හෂ්මතුල්ලා ශහිඩි සමගින් එක්ව සිවුවැනි කඩුල්ල  සඳහා පන්දු 96 කදී ලකුණු 94 ක සම්බන්ධතාවයක්  ගොඩනැගීමටද අස්ගර් ඇෆ්ගන් සමත්විය.

ජොෆ්රා ආචර් සහ අදිල් රෂීඞ් කඩුලු 3 බැගින්ද මාක් වුඞ් කඩුලු 2 ක් ද දවාගනිමින් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

හයේ පහර 17 ක් එල්ල කරමින් එංගලන්ත නායක ඔයින් මෝගන්ගේ (148) වාර්තාගත පිතිහරඹය හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 397 ක් රැස්කිරීමට සමත්විය.

ලෝක කුසාලන තරගයකදී ක්‍රිස් ගේල් සහ එක්දින තරගයකදී රෝහිත් ශර්මා හයේ පහර 16 බැගින් එල්ල කරමින් තබාතිබූ ලෝක වාර්තා බිඳහෙළීමට හයේ පහර 17 ක් එල්ල කළ ඔයින් මෝගන් සමත්විය. ගුල්බදීප් නයිබ්ගේ පන්දුවකට ලෝන්ග් ඕෆ් කලාපයෙන් එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස රහමට් ෂා රැකගැනීමත් සමගින් ඔයින් මෝගන්ගේ ඉනිම ලකුණු 148 කට අවසන් විය. පන්දු 71 කට මුහුණදුන් මෝගන්ගේ ඉනිම හයේ පහර 17 කින් සහ හතරේ පහර 4 කින් අලංකාර විය.

පන්දු 36 කදී අර්ධ ශතකය ලබාගත් මෝගන්ගේ 13 වැනි ශතකය පන්දු 57 කදී වාර්තා වූ අතර එක්දින තරගයක ඉනිමකදී ඔහු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද වේ.

ජෝ රූට් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 101 කදී ලකුණු 189 ක සම්බන්ධතාවයක් පැවැත්වීමටද මෝගන් සමත්විය.

නායක ඔයින් මෝගන්ට අනගි සහයක් ලබාදුන් ජොනී බෙයාර්ස්ටෝ සහ ජෝ රූට් අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

පන්දු යැවූ ගුල්බදීන් නයිබ් වෙත නැවත ලැබුණු උඩපන්දුව දක්ෂ ලෙස රැකගැනීමත් සමගින් ශතකයට ලකුණු 10 ක් මෙපිටින් සිටි ජොනී බෙයාර්ස්ටෝට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ලෝක කුසලාන තරගාවලියකදී ලබාගැනීමට තිබූ පළමු ශතකය අහිමිකරගත් ජොනී බෙයාර්ස්ටෝ පන්දු 99 කදී ලකුණු 90 ක් රැස්කිරීමට සමත්විය. ඊට හයේ පහර 3 ක් හතරේ පහර 8 ක් ද ඇතුළත් විය.

ලෝන්ග් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි රහමට් ෂා අතට උඩපන්දුවක් දෙමින් ජෝ රූට් දැවීයන විට ලකුණු 88 ක් රැස්කර සිටියේය. පන්දු 82 කට මුහුණදුන් රූට්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් අලංකාර විය.

දෙවැනි කඩුල්ල සඳහා පන්දු 122 කදී ලකුණු 120 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ජොනී බෙයාර්ස්ටෝ සහ ජෝ රූට් සමත්වූහ.

එංගලන්ත පිතිකරුවන් හමුවේ දරුණු පහර කෑමකට ලක්වූ රෂීඞ් ඛාන් ඕවර 9 කදී ලකුණු 110 ක් ලබාදෙමින් ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නකු ලබාදුන් ඉහළම ලකුණු සංඛාවේ වාර්තාවට හිමිකම් කීහ. ඒ අනුව එක්දින තරගයකදී පන්දු යවන්නකු ලබාදුන් වැඩිම ලකුණු වාර්තාවේ දෙවැනි ස්ථානය ලබාගැනීමටද රෂීඞ් ඛාන් සමත්විය. 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව මයිකල් ලෙවිස් ඕවර 10 කදී ලකුණු 113 ක් ලබාදී ඇත.

එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 397

(ජේම්ස් විනිස් 26, ජොනී බෙයාර්ස්ටෝ 90 , ජෝ රූට් 88, ඔයින් මෝගන් 148, ගුල්බදීන් නයිබ් 68/3, දවලට් සඩ්‍රාන් 85/3)

ඇෆ්ඝනිස්තානය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 247

(ගුල්බදීන් නයිබ් 37, රහ්මට් ෂා 46, හෂ්මතුල්ලා ශහිඩි 76, අස්ගර් ඇෆ්ගන් 44, ජොෆ්රා ආචර් 52/3, අදිල් රෂීඞ් 66/3, මාක් වුඞ් 40/2)

...


අදහස් (0)

පිතිකරුවෝ එංගලන්තයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.