Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානයට කඩුලු 6 ක ජයක්

පාකිස්තානයට කඩුලු 6 ක ජයක්

editorial - 2019 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය සහ ශානුක අරවින්ද)

ඕවර 49.1 කදී - පාකිස්තානය 241/4

බාබර් අසාම් (නොදැවී 101) සහ හාරිස් සොහේල් (68) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 142 කදී ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගියේය.  

පන්දු 127 කට මුහුණදුන් අසාම් හතරේ පහර 11 කින් සිය 10 වැනි එක්දින ශතකය අලංකාර කළ අතර පන්දු 76 කදී වාර්තා වූ සොහේල්ගේ 12 වැනි අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

මෙම ජයග්‍රහණයත් සමග සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ දමාගත් පාකිස්තානය ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැගි අතර ප්‍රසාද ලකුණු 11 ක් ලබා සිටින නවසීලන්තයට තවදුරටත් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේම රැදී සිටීමට සිදුවිය.

 

----------------------------------------------------------------------------------------------------------------

අසාම් - සොහේල් සාර්ථක සම්බන්ධතාවක

ඕවර 40 කදී - පාකිස්තානය 183/3

ඉනිමේ 40 වැනි ඕවරය නිමාවන විට බාබර් අසාම් (නොදැවී 78) සහ හාරිස් සොහේල් (නොදැවී 40) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 91 කදී ලකුණු 73 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ උත්සාහයක නිතරව සිටිති.

තිස්වැනි ඕවරයේ සිට 40 වැනි ඕවරය දක්වා තමාද ඇතුළත්ව පන්දු යවන්නන් පස්දෙනකුගේ සේවය ලබාගැනීම නවසීලන්ත නායක කේන් විලියම්සන් පියවර ගත්තද එහිදී එක් කඩුල්ලක් හෝ දවාගැනීමට ඔවුන්ට නොහැකි වූහ.

----------------------------------------------------------------------------------------------------------------

හෆීස්ගේ කඩුල්ල විලියම්සන් දවාගනී

ඕවර 30 කදී - පාකිස්තානය 128/3

බාබර් අසාම් (නොදැවී 51) සහ මොහොමඞ් හෆීස් (නොදැවී 32) එක්ව පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ගොඩනැගූ ලකුණු 66 ක සම්බන්ධතාවට තිත තැබීමට නායක කේන් විලියම්සන් සමත් විය.

විලියම්සන් යැවූ පාකිස්තාන ඉනිමේ 25 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ඩීප් මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ලොකී ෆර්ගියුසන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 50 කට මුහුණදී සිටි හෆීස්ගේ ඉනිමට හතරේ පහර 5 ක් අන්තර්ගත වී තිබිණ.

පන්දු 65 කදී හතරේ පහර 5 ක් සමගින් බාබර් අසාම් සිය 15 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් අතර 30 වැනි ඕවරය නිමාවන විට ඔහු හාරිස් සොහේල් (නොදැවී 15) සමග එක්ව සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ උත්සාහයක නිතරව සිටියේය.

----------------------------------------------------------------------------------------------------------------

අසාම් - හෆීස් සාර්ථක ගමනක

ඕවර 20 කදී - පාකිස්තානය 86/2

පන්දු යැවීමේ වෙනසක් කරමින් දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් පන්දු යැවීමට කැඳවීමත් සමග පාකිස්තාන කණ්ඩායමේ දෙවැනි කඩුල්ලත් බිඳ වැටිණ. ෆර්ගියුසන් යැවූ 11 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී මාටින් ගප්ටිල් අතට උඩ පන්දුවක් දෙමින් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් දැවී ගියේ හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක් ලබා සිටියදීය.  

එතැන් පටන් පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 42 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට බාබර් අසාම් (නොදැවී 34) සහ මොහොමඞ් හෆීස් (නොදැවී 23) සමත් වූහ.

එහිදී පාකිස්තානය වෙනුවෙන් එක්දින ලකුණු 3000 සීමාව ඉක්මවා යෑමටද බාබර් අසාම් සමත් වූ අතර දෙවැනි අඩුම ඉනිම් සංඛ්‍යාවකදී එම සීමාවට ලඟා වූ ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා අතරට එක්විය. ඒ සඳහා ඔහුට වැය වී තිබූ ඉනිම් සංඛ්‍යාව 68 කි.  

----------------------------------------------------------------------------------------------------------------

පාකිස්තානයෙන් සාර්ථක ආරම්භයක්

ඕවර 10 කදී - පාකිස්තානය 43/1

ලකුණු 239 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන පාකිස්තාන කණ්ඩායම මුල් ඕවර 10 තුළදී ලකුණු 43 ක් ලබාගත් අතර එහිදී ඔවුන්ට එක් කඩුල්ලක් අහිමි විය. ට්‍රෙන්ට් බෝල්ට් යැවූ තෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී මාටින් ගප්ටිල් අතට උඩ පන්දුවක් දෙමින් ෆකාර් සමාන් ලකුණු 9 කට දැවී ගියේය.

ටේ‍රන්ට් බෝල්ට් සහ මැතිව් හෙන්රි යැවූ මුල් ඕවර 10 තුළදී ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වූ අරම්භක පිතිකරු ඉමාම් උල්හක් (15) සහ බාබර් අසාම් (නොදැවී 19) ක්‍රම ක්‍රමයෙන් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

----------------------------------------------------------------------------------------------------------------

 

පාකිස්තානයට ලකුණු 238 ක අභියෝගයක්

ඕවර 50 - නවසීලන්තය 237/6

ජේම්ස් නීෂම් (නොදැවී 97) සහ කොලින් ඩි ග්‍රැන්ඞ්හෝම් දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 132 ක සම්බන්ධතාව නිසා යන්තම් හිස් ඔසවාගත් නවසීලන්ත කණ්ඩායම බර්මින්හැම්හිදී අද (26 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පාකිස්තානයට එරෙහිව ඕවර 50 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 237 ක් ලබාගත්තේය.

තරගයේ සම්පූර්ණ පාලනය අතට ගෙන සිටි පාකිස්තානු පන්දු යවන්නෝ 30 වැනි ඕවරයෙන් පසු සිය ග්‍රහණය තරමක් ලිහිල් කළහ. ඒ හේතුවෙන් අවසන් ඕවර 20 දී නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 143 ක් ලබාගනිමින් ලකුණු 200 කඩයිම පසුකර ගියහ.

කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් පන්දු 71 කින් ලකුණු 64 ක් ලබා දුවද්දී දැවී ගිය අතර සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළ ජේම්ස් නීෂම් හයේ පහර තුනක් සහ හතරේ පහර 5 ක් සහිතව නොදැවී ලකුණු 97 ක් ලබාගත්තේය. තණතීරුව එන්න එන්නම මන්දගාමී වෙමින් යන අතර ලකුණු ලබාගැනීම අසීරු අභියෝගයක් වී තිබේ.

----------------------------------------------------------------------------------------------------------------

නවසීලන්තය අසීරු ගමනක

ඕවර 40 - නවසීලන්තය 152/5

බර්මින්හැම්හිදී අද (26 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී අසීරු ගමනක නිරතව සිටින නවසීලන්ත කණ්ඩායම ඕවර 40 ක් නිමා වන විට පාකිස්තානු පිලට එරෙහිව කඩුලු 5 ක් දැවී ලකුණු 152 ක් ලබා සිටියේය. ඒ වන විට හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනංවා සිටි කොලින් ඩිග්‍රැන්ඞ්හෝම් සහ ජේම්ස් නීෂම් දෙදෙනා ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකිරීමේ උත්සාහයක නිරතව සිටියහ.

තරගයේ සම්පූර්ණ පාලනය අතට ගෙන සිටි පාකිස්තානු පන්දු යවන්නන් 30 වැනි ඕවරයෙන් පසු සිය ග්‍රහණය තරමක් ලිහිල් කිරීම හේතුවෙන් අවසන් ඕවර 10 දී නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 58 ක් ලබාගත්තා පමණක් නොව කඩුල්ලක් ලබාගැනීමේ අවසරය පාකිස්තානුවන්ට නොදීමටත් වගබලා ගත්හ.

----------------------------------------------------------------------------------------------------------------

එකම බලාපොරොත්තුව විලියම්සන් දැවී යයි

ඕවර 30 - නවසීලන්තය 94/5

පළමුවෙන් පන්දුවට පහර දීමේ අභියෝගය බාරගත් නමුත් බර්මින්හැම්හිදී අද (26 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ඕවර 30 ක් නිමා වන විට පාකිස්තානු පිලට එරෙහිව නවසිලන්ත පිලට  ලබාගත හැකිවූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 94 ක් පමණි. නවසීලන්තයේ එකම බලාපොරොත්තුව වූ කේන් විලියම්සන්ද ඒ වන විට දැවී ගොස් සිටියේය.  

ශදාබ් ඛාන්ගේ විශිෂ්ට පා දඟ පන්දුවක් කේන් විලියම්සන්ගේ පිත්තේ පිටත දාරයේ යාන්තමින් වැදී යද්දී කඩුලු රකින ක්‍රීඩක සර්ෆ්‍රාස් අහමඞ් සිය පසමිතුරාගේ උඩපන්දුව රැකගත්තේය. ඒ සමගින් බිඳ වැටුණේ ලකුණු 37 ක සම්බන්ධතාවක් වුවද ඒ වෙනුවෙන් පන්දු 83 ක් වැයවී තිබිණ.

පාකිස්තානු පන්දු යවන්නෝ කිසිම බුරුළක් නොදී පන්දු යවමින් සිටිති. කේන් විලියම්ස් සහ ජේම්ස් නීෂම් දෙදෙනා පන්දු 75 කදී ලකුණු 33 ක් එකතු කළ නමුත් ඒ සෑම ලකුණක් සඳහාම වෙහෙස වීමට පිතිකරුවන් දෙදෙනාට සිදුවිය. ඔවුන් දෙදෙනාගේ අභිප්‍රාය වූයේ කඩුලු රැකගැනීම වුවත් ශදාබ් ඛාන්ගේ පන්දුව කඩුල්ලක් හිමිවිය යුතු පන්දුවක් විය.

මේ අතර ප්‍රවීණයන්ගේ මතය වන්නේ මෙම තණතීරුවේදී ලකුණු 230 ක් හෝ 240 ක් යන ලබාගැනීම පාකිසතානු පිතිකරුවන්ටත් අසීරු විය හැකි බවයි.

----------------------------------------------------------------------------------------------------------------

පන්දු 30 කින් ලකුණු 4 ක් පමණයි

ඕවර 15 - නවසීලන්තය 48/4

පාකිස්තානුවන් දෑස් දල්වා බලා සිටින අවස්ථාවකදී පන්දුවට පහර දීමේ අභියෝගය බාරගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් සිය කඩුල්ල රැකගැනීමට සමත් වූ නමුත් බර්මින්හැම්හිදී අද (26 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ ආරම්භයේදීම නවසීලන්තය අමාරුවේ වැටී සිටී. අපේක්‍ෂා කළාටත් කලින් කඩුලු 3 ක් බිඳ වැටීම නිසා පසුපාදයට වැටුණු නවසීලන්ත පිතිකරුවන්ට ඉනිමේ 10 වැනි සහ 15 වැනි ඕවර අතරතුරදී ලබාගත හැකිවූයේ ලකුණු 4 ක් පමණි.

තවත් ආකාරයකින් කියන්නේ නම් පන්දු 30 කදී ලකුණු 4 කි. ඒ අතරවාරයේදී නිලකුණු පන්දු 25 ක් වාර්තා වූ අතර ටොම් ලෙතම්ගේ කඩුල්ලත් අහිමි විය.

----------------------------------------------------------------------------------------------------------------

නවසීලන්තය පසුපාදයට තල්ලුවෙයි

ඕවර 10 - නවසීලන්තය 44/3

පාකිස්තානුවන් දෑස් දල්වා බලා සිටින අවස්ථාවකදී පන්දුවට පහර දීමේ අභියෝගය බාරගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් සිය කඩුල්ල රැකගැනීමට සමත් වූ නමුත් බර්මින්හැම්හිදී අද (26 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ ආරම්භයේදීම නවසීලන්තය අමාරුවේ වැටී සිටී. පාකිස්තානය ලෝක කුසලාන දිනාගත් 1992 තරගාවලියේදී මෙන්ම මෙම තරගාවලියේදීත් එකම කාරණා එකම ආකාරයට සිදුවෙමින් පවතින බැවින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වේ යයි පාකිස්තානුවෝ විපිළිසර දෑසින් බලා සිටිති. 

පන්දු 10 ක් ඇතුළතදී කොලින් මුන්රෝ සහ රොස් ටේලර් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ ශහීන් ෂා අෆ්රීඩි නවසීලන්ත පිල පසුපාදයට තල්ලුකර දැම්මේය. 

----------------------------------------------------------------------------------------------------------------

නවසීලන්තය පන්දුවට පහරදීම තෝරාගනී 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය ලෙස නවසීලන්තය සහ පාකිස්තානය අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 

නවසීලන්තය කණ්ඩායම 
කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල්, කොලින් මුන්රෝ, රොස් ටේලර්, ටොම් ලේතම්, ජේම්ස් නීෂම්, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්, මිචෙල් සෑන්ට්නර්, මැතිව් හෙන්රි, ලොකී ෆර්ගියුසන් සහ ට්‍රෙන්ට් බෝල්ට් 

පාකිස්තාන කණ්ඩායම 
සර්ෆරාස් අහමඞ් (නායක), ඉමාම් උල්හක්, ෆකාර් සමාන්, බාබර් අසාම්, මොහොමඞ් හෆීස්, හාරිස් සොහේල්, ඉමාඞ් වසීම්, ශඩාබ් ඛාන්, වහබ් රියාස්, මොහොමඞ් අමීර් සහ ශහීන් අෆ්රිඩි 

----------------------------------------------------------------------------------------------------

කාසියේ වාසිය උරගා බැලීම පමා වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය ලෙස නවසීලන්තය සහ පාකිස්තානය අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය උරගා බැලීම වර්ෂාව හේතුවෙන් තරමක් පමා වී තිබේ. 

මේ වන විට තරග 6 කට සහභාගි වී ඇති නවසීලන්තය ජයග්‍රහණ 5 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර තරග 6 කට සහභාගි වී ඇති පාකිස්තානය ජයග්‍රහණ 2 ක් සහ පරාජ 3 ක් සමගින් ප්‍රසද ලකුණු 5 ක් ලබා ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවෙයි. 

 


අදහස් (0)

පාකිස්තානයට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.