Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය දැවැන්ත පරාජයක් අබියස

පාකිස්තානය දැවැන්ත පරාජයක් අබියස

editorial - 2019 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මානස් ලැබුස්චේන්ජ්ගේ (185) ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන්, පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදීම, තරගයේ වාසිය සහමුලින්ම සියතට ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත්ව සිටිති. තරගයේ තුන්වැනි දිනය නිමා වනවිට පාකිස්තානු දෙවැනි ඉනිමේ කඩුලු 3 ක් ලකුණු 64 කට බිම දැමූ ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 276 ක වාසියක් ද සහිතව ජයග්‍රහණයට කඩුලු 7 ක් එපිටින් සිටිති.

මිචෙල් මාෂ් (25/2) සහ පැට්ටි්‍රක් කමින්ස් (16/1) එක්ව දෙවැනි ඉනිමේදී ලකුණු 25 ක් ලබාගැනීමටත් පෙරම පාකිස්තානු නායක අසාර් අලි, හැරිස් සොහේල් සහ අසාඞ් ෂෆීක් යන තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී තවත් ලකුණු 277 ක් ලබාගැනීමට පාකිස්තානු පිල අසමත් වුවහොත් ඉනිමක පරාජයට මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇත.

ආරම්භක පිතිකරු ශාන් මසූඞ් (නොදැවී 27) සහ බාබර් අසාම් (නොදැවී 20) පාකිස්තානු කණ්ඩායම බේරාගැනීමේ අභියෝගයට මුහුණ දී සිටිති.

ඕස්ට්‍රේලියානු ගිම්හානයේ ටෙස්ට් ක්‍රිකට් වාරය ආරම්භ වන්නේ ගැබා ටෙස්ට් තරගයෙනි. වර්ෂ 1988 සිටම ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් බි්‍රස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් පරාජය වී නැත. පළපුරුදු ආරම්භක පිතිකරුවා වූ ඬේවිඞ් වෝනර් මෙන්ම නවකයකු වන මානස් ලැබුස්චේන්ජ් එක්ව ඕස්ට්‍රේලියානු පිලේ වාර්තාව කරදරයකින් තොරවම තවත් වසරක කාලයක් පවතින තැනට කටයුතු කළහ.

පාකිස්තානු පිල මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 240 ට පිළිතුරු වශයෙන් ඬේවිඞ් වෝනර් (154), ජෝ බර්න්ස් (97) සහ මානස් ලැබුස්චේන්ජ් එක්ව පාකිස්තානු පන්දු යවන්නන්ට එළව එළවා පහර දුන්හ. ඕස්ටේ්‍රලියානු පිල වෙනුවෙන් අසාර්ථක පිතිකරුවෙක් වූයේ නම් ඒ ස්ටීවන් ස්මිත් පමණි.

“ඒක හීනයක් සැබෑ වීමක්” යයි සිය ප්‍රාන්ත ක්‍රීඩාංගණයේදීම මංගල ටෙස්ට් ශතකය ලබාගැනීම සම්බන්ධයෙන් මානස් ලැබුස්චේන්ජ් පැවසීය.

“කොල්ලො ටික තමයි ඒකට පාර කැපුවේ... මම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා”

“මේ හිස්වැස්මත් එක්ක ක්‍රීඩා කරන්න ලැබීම භාග්‍යයක්... ඉදිරියේදීත් මට තවත් ලකුණු ලබාගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි” යයි මානස් ලැබුස්චේන්ජ් තරගයෙන් පසුව පැවසීය.
 
වසරක තහනමෙන් මිදුණු පසුව ඕස්ට්‍රේලියාවේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඬේවිඞ් වෝනර් ලකුණු 154 ක් ලබාගත්තේ පන්දු 296 කින් 10 ක් හතරේ සීමාවට පිටත්කර යවමිනි. ජෝ බර්න්ස් සමගින් එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 222 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ වෝනර් අනතුරුව තරුණ පිතිකරුවා වූ මානස් ලැබුස්චේන්ජ් සමගින් එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 351 ක් දක්වා තල්ලු කරගෙන ගියේය.
 
කෙසේ වෙතත් අද පෙරවරුවේදී වෝනර්ට ලබාගත හැකිවූයේ ලකුණු 3 ක් පමණි. තවමත් 16 හැවිරිදි පාකිස්තානු වේග පන්දු යවන්නා වන නසීම් ෂා තමන්ගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙසින් ඬේවිඞ් වෝනර් දවාගත්තේය. ටෙස්ට් තරග 6 කදී හත්වැනි වතාවටත් යසීර් ෂාට කඩුල්ල පූජා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 4 කට දැවී ගියේය.

මැතිව් වේඞ් (60) සමගින් එක්ව ලකුණු 129 ක සමබන්ධතාවක් ගොඩනැංවූ ලැබුස්චේන්ජ් පිටියේ රැඳී සිටියදී ඕස්ට්‍රේලියානුවන් තේ පානය සඳහා ක්‍රීඩාගාරයට ආවේ ලකුණු පුවරුව කඩුලු 5 කට 532 ක් ලෙසින් සටහන්ව තිබියදීය. කෙසේවෙතත් දිගු වේලාවක් බ්‍රිස්බේන් හිරුමඬල යට ක්‍රීඩා කිරීමෙන් වෙහෙසට පත්ව සිටි ලැබුස්චේන්ජ් මුලු ලකුණු සංඛ්‍යාව 546 දී දැවී ගියේ පන්දු 279 කින් 20 ක් ක්‍රීඩාගාරයට යැවීමෙන් පසුවය.

ඒ වන විට හෙම්බත් වී සිටි පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ තවත් ලකුණු 34 ක් එකතු කරගත් ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවෝ මුල් ඉනිමේදී ලකුණු 340 ක දැවැන්ත වාසියක් තම පිලට අත්කර දුන්හ.


පාකිස්තානය පළමු ඉනිම - සියලුදෙනා දැවී 240
(ශාන් මසූඞ් 27, අසාර් අලී 39, අසාද් ශෆීක් 76, මොහොමඞ් රිස්වාන් 37, යසීර් ෂා 26, මිචෙල් ස්ටාක් 52/4, පැට් කමින්ස් 60/3, ජොෂ් හේසල්වුඩ් 46/2)

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - කඩුල්ලක් දැවී 312
(ඬේවිඞ් වෝනර් 154, ජෝ බර්න්ස් 97, මානස් ලැබුස්චේන්ජ් 185, මැතිව් වේඞ් 60, ට්‍රැවිස් හෙඞ් 24, ටිම් පේන් 13, නේතන් ලයන් 13, ශහීන් ෂා අෆ්රිඩි 96/2, යසීර් ෂා 205/4, හැරිස් සොහේල් 75/2)

පාකිස්තානය - දෙවැනි ඉනිම කඩුලු 3 ට 64
(ශාන් මසූඞ් නොදැවී 27, බාබර් අසාම් නොදැවී 20, මිචෙල් මාෂ් 25/2)

 

..


අදහස් (0)

පාකිස්තානය දැවැන්ත පරාජයක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.