Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රිත්වි - ධවාන් චෙන්නායි පිලට තලති

ප්‍රිත්වි - ධවාන් චෙන්නායි පිලට තලති

editorial - 2021 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රිත්වි ෂෝ (72) සහ ෂිකාර් ධවාන් (85) දෙදෙනාගේ විශිෂ්ට පිතිහරඹයෙන් සවිමත් වූ දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදීම ඉලක්කය කරා අවතීර්ණ වෙමින් චෙන්නායි පිල කඩුලු 7 කින් පරාජය කළහ. මෙම තරගය අද (10 වැනිදා) මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

ලකුණු 189 ක ඉලක්කයක් කරා යාම ආරම්භ කළ දිල්ලි පිතිකරුවෝ පළමු ඕවර 12 අවසන් වන තුරුම ලකුණු 10 කට වැඩි වේගයක් පවත්වාගත් නමුත් කඩුලුද ආරක්‍ෂා කරගත්හ. 12 වැනි ඕවරය අවසන් වන විට ජයග්‍රහණය වෙනුවෙන් දිල්ලි පිතිකරුවන්ට අවශ්‍යව තිබූ ලකුණු 68 වෙනුවෙන් පන්දු 48 ක් මෙන්ම කඩුලු 10 ක් ද ඉතිරිව තිබිණ. එතැන් සිට ක්‍රමානුකූල ගමනක් යා හැකිව තිබුණත් දිල්ලි පිතිකරුවන්ගේ අරමුණ වූයේ කල්තබාම ශූද්ධ ලකුණු වේගයත් ඉහළින් තබාගැනීමයි. එබැවින් ඔව්හු සුපුරුදු වේගයෙන් ම ඉදිරියට ගියහ. 

ඩ්වේන් බ්‍රාවෝගේ පන්දුවක් හමුවේ ප්‍රිත්වි ෂෝ දැවී යන විට දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව, චෙන්නායි පිලට එරෙහිව ගොඩනැංවූ දෙවැනි හොඳම සම්බන්ධතාව විය. ෂිකාර් සහ ප්‍රිත්වි ෂෝ දෙදෙනාගේ ලකුණු 138 ක ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව දෙවැනි වන්නේ වසර 2015 දී අජින්ක්‍යා රහනේ සහ ෂේන් වොට්සන් දෙදෙනා චෙන්නායි පිලට එරෙහිව එකතු කළ ලකුණු 144 සම්බන්ධතාවට පමණි. 

පන්දු 54 කින් ලකුණු 85 ක් ලබාගත් ෂිකාර් ධවාන් දැවීගියේ තවත් වාර්තාවකට හිමිකම් කියමිනි. මේ වන විට අයි.පී.එල්. ඉතිහාසයේ චෙන්නායි පිලට එරෙහිව වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වීමේ වාර්තාව දැන් ධවාන් සතුය. එය ලකුණු 910 කි. ධවාන් සතුකරගත්තේ විරාට් කෝලි සතුව තිබූ ලකුණු 901 වාර්තාවයි. 

දිල්ලි පිලට පළමු වරට නායකත්වය දෙන රිෂාබ් පාන්ට් අද (10 වැනිදා) පැවැත්වෙන අයි.පී.එල්. තරගයේදී කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. සිම්බාබ්වේ ටෙස්ට් කණ්ඩායමේ හිටපු විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ කෙවින් කරන්ගේ පුතුන් දෙදෙනා වන සෑම් කරන් (චෙන්නායි සුපර් කිංග්ස්) සහ ටොම් කරන් (දිල්ලි කැපිටල්ස්) අද දිනයේ දෙපිලේ ක්‍රීඩා කළහ. 

චෙන්නායි පිලට ලැබුණේ භයංකාර ආරම්භයකි. මුලු ලකුණු සංඛ්‍යාව 7 ක් ව තිබියදී අරම්භක පිතිකරුවන් වූ රුතුරාජ් ගයික්වාඩ් සහ ෆෆ් ඩු’ප්ලෙසි දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. එහෙත් මොයින් අලී සමග එක්වූ සුරේෂ් රයිනා 2021 අයි.පී.එල්. තරගාවලියට පිවිසීම සනිටුහන් කළේ අලංකාර අර්ධ ශතකයකිනි. 

රයිනා සහ සෑම් කරන් එක්ව දිල්ලි පිල හමුවේ අමාරුවේ වැටීමට ගිය චෙන්නායි පිල ලකුණු 188 ක් දක්වා ඉහළට ගෙන ගියහ. පන්දු 36 කින් පැමිණි රයිනාගේ අර්ධ ශතකය ක්‍රමානුකූල ආක්‍රමණයේ කදිම ප්‍රදර්ශනයක් වූයේ එය හතරේ පහර 3 කින් සහ හයේ පහර 4 කින් සමන්විත වූ බැවිනි. 

ලකුණු 14 ක් ඇතුළත චෙන්නායි පිතිකරුවන් තිදෙනකු දැවී ගියද පසුපස නොබැලූ සෑම් කරන්, තුන් ඉරියව් ක්‍රීඩක  රවීන්ද්‍ර ජදේජාත් සමග එක්ව, 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 51 ක් එක්කළේය. සෑම් කරන්, පන්දු 15 දී ලකුණු 34 ක් උදුරා ගත්තේ හතරේ පහර 4 කින් සහ හයේ පහර 2 කින් දිල්ලි පන්දු යවන්නන්ට සංග්‍රහ කරමිනි. 

ලකුණු 188 ක් යනු විස්සයි-20 තරගයකදී සටනක් දිය හැකි සාර්ථක ලකුණු සංඛ්‍යාවකි. එය චෙන්නායි පිතිකරුවන්ගේ තරම කදිමට ප්‍රදර්ශනය කරන්නක්ද විය. එහෙත් ප්‍රිත්වි ෂෝ සහ ෂිකාර් ධවාන් දෙදෙනාගේ ආරම්භක සම්බන්ධතාව චෙන්නායි පිලේ හරහට හිටියේය. 

දිල්ලි පිල වෙනුවෙන් විශාලතම මෙහෙවර කළෝ අවේශ් ඛාන් සහ ටොම් කරන් දෙදෙනායි. අම්බටි රයියදුගේ අසිරු උඩපන්දුවක් පිටියේ ඈත කෙළවර සිටි ෂිකාර් ධවාන් විසින් රැකගනු ලැබීමත් සමගම චෙන්නායි ගමන අඩාල විය. සුරේෂ් රයිනා දුවද්දී දැවී ගිය අතර තවත් පන්දු දෙකකට පසුව, මහේන්ද්‍ර සිං දෝනි මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම දවාගැනීමට අවේශ් ඛාන් සමත් වූයේය. මෙම තිදෙනා දැවී යන අතරේ චෙන්නායි ලකුණු පුවරුවට එක්වූයේ ලකුණු 14 ක් පමණි. 

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 188
(මොයින් අලී 36, සුරේෂ් රයිනා 54, අම්බටි රයියදු 23, රවීන්ද්‍ර ජදේජා නොදැවී 26, සෑම් කරන් 34, ක්‍රිස් වෝක්ස් 18/2, අවේශ් ඛාන් 23/2)
දිල්ලි කැපිටල්ස් - ඕවර 18.4 කදී කඩුලු 3 ක් දැවී 190
(ප්‍රිත්වි ෂෝ 72, ෂිකාර් ධවාන් 85, රිෂාබ් පන්ට් නොදැවී 15, මාකස් ස්ටොයිනිස් 14,-ශර්දුල් ඨාකුර් 49/2, ඩ්වෙන් බ්‍රාවෝ 28/1)

- 213


අදහස් (0)

ප්‍රිත්වි - ධවාන් චෙන්නායි පිලට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.