Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු පෙළ තරගාවලිය 31 දා ඇරඹෙයි

පළමු පෙළ තරගාවලිය 31 දා ඇරඹෙයි

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප්‍රධානතම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 31 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. පසුගිය වසරේ පැවැති ‘ඒ’ ශ්‍රේණීයේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී.) සමත්වූ අතර එහි අනුශූරතාව සැරසන්ස් ක්‍රීඩා සමාජයට හිමිවිය. ‘බී’ ශ්‍රේණීයේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලන්කන් ක්‍රිකට් සමාජය හිමිකර ගන්නා විට එහි අනුශූරතාව නාවික හමුදා ක්‍රීඩා සමාජයට හිමිවිය.

පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ශ්‍රේණී දෙකක් යටතේ පැවැත්වෙන අතර තරගාවලි දෙක වෙනුවෙන් ක්‍රීඩා සමාජ 26 ක් තරග වැදීමට සුදානමින් සිටිති. අවසන් වරට පසුගිය වසරේ පැවැති තරගාවලියේදී කණ්ඩායම් 23 ක් තරගාවලියට එක්වුවද මෙවර කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කරමින් 26 දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

‘ඒ’ ශ්‍රේණීයේ තරගාවලියේදී ක්‍රීඩා සමාජ 14 ක් කාණ්ඩ දෙකකට බෙදා ලීග් පදනම මත තරග පැවැත්වේ. එක් ක්‍රීඩා සමාජයක් මූලික වටයේ තරග 6 කට සහභාගි විය යුතුය. ‘ඒ’ ශ්‍රේණීයේ තරගාවලිය මූලික වටයේ තරග වලින් අනතුරුව සුපිරි කණ්ඩායම් 8 සහ පළඟ ශූරතාව ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කෙරෙති. ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩයන්හී ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 4 බැගින් කණ්ඩායම් 8 ක් සුපිරි කණ්ඩායම් අතර තරගාවලියට සුදුසුකම් ලබාගන්නා අතර ඒ ඒ කාණ්ඩයන්හී අවම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 6 පළඟ ශූරතාව සඳහා සුදුසුකම් ලබාගනිති.

සුපිරි කණ්ඩායම් 8 අතර පැවැත්වෙන තරග වටයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම අන්තර් සාමාජ ලීග් ක්‍රිකට් ශූරතාවට හිමිකම් කියන අතර පළඟ ශූරතාව සඳහා පැවැත්වෙන තරග වටයේදී එහි ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායමට එහි ශූරතාව හිමිවේ. පළඟ ශූරතා තරගාවලියේ අවම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම ලබන වසරේ පැවැත්වෙන ‘බී’ ශ්‍රේණියේ තරගාවලිය සඳහා පහත දමනු ලැබේ.

‘බී’ ශ්‍රේණීයේ තරගාවලියේදී ක්‍රීඩා සමාජ 12 ක් ලීග් පදනම මත තරග වැදීමට නියමිත අතර කණ්ඩායමක් තරග 11 කට සහභාගි විය යුතුය. සෑම කණ්ඩායමක්ම තරග 11 බැගින් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ‘බී’ ශ්‍රේණීයේ තරගාවලියේ ශූරතාව හිමිවේ. ‘බී’ ශ්‍රේණීයේ තරගාවලියේ ශූරතාව හිමිකරගත් කණ්ඩායමට ලබන වසරේ පැවැත්වෙන පළමු පෙල ක්‍රිකට් තරගාවලියේදී ‘ඒ’ ශ්‍රේණිය වෙත උසස්වීමක් ලැබේ.

සියලු තරග තුන්දින තරග ලෙස පැවැත්වෙන අතර සුපිරි අට තරග වටයේ තරග පමණක් සිව්දින තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

පසුගිය වසරේදී ‘ඒ’ ශ්‍රේණීයේ පළඟ ශූරතාවලියේදී ප්‍රසාද ලකුණු 26.62 ක් ලබා අවසන් ස්ථානය හිමිකරගත් වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය ‘බී’ ශ්‍රේණීය දක්වා පහත දමා ඇති අතර ‘බී’ ශ්‍රේණීයේ ශූරතාව හිමිකරගත් ලන්කන්ස් ක්‍රිකට් සමාජය ‘ඒ’ ශ්‍රේණීය දක්වා උසස් කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය වසරේ පැවැති ‘බී’ ශ්‍රේණීයේ තරගාවලියේදී අවම ලකුණු ලබාගත් කණ්ඩායම මෙවර දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලිය දක්වා පහත දමා නොමැති අතර ඒ වෙනුවට නුගේගොඩ ක්‍රීඩා සමාජය, මහනුවර කස්ටම්ස් ක්‍රීඩා සමාජය සහ සෙබස්තිනයිට්ස් ක්‍රිකට් සමාජය යන ක්‍රීඩා සමාජ 3 මෙවර තරගාවලියට එක්කර ගෙන තිබේ.

 

‘ඒ’ ශ්‍රේණීයේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම්
සී.සී.සී, කෝල්ට්ස්, එස්.එස්.සී, යුද හමුදාව, බී.ආර්.සී, මූවර්ස්, මීගමුව ක්‍රී.ස, සැරසන්ස්, හලාවත මේරියන්ස්, ද්‍රවිඩ සංගමය, එන්.සී.සී, රාගම ක්‍රී.ස, බදුරලිය ක්‍රී.ස, ලන්කන්.


‘බී’ ශ්‍රේණීයේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම්
ගාල්ල ක්‍රී.ස, පානදුර ක්‍රී.ස, නාවික හමුදාව, කළුතර නාගරික, බ්ලූම්ෆීල්ඞ්, කුරුණෑගල යොවුන්, ගුවන් හමුදාව, වරාය අධිකාරිය, නුගේගොඩ ක්‍රී.ස, පොලිස් ක්‍රී.ස, මහනුවර කස්ටම්ස්, සෙබස්තිනයිට්ස්.

 


අදහස් (0)

පළමු පෙළ තරගාවලිය 31 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.