Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

පළමු තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

editorial - 2019 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති අළුබඳුන ටෙසට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 251 ක පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව අද (5 වැනිදා) සමත් විය. ඉනිම් දෙකේදීම ශතකය ලබාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

සිවුවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 398 ක ඉලක්කයක් හඹායමින් සිටි එංගලන්තය කිසිවකු නොදැවී ලකුණු 13 ක් ලබා සිටියේය. කෙසේවුවත් අවසන් දිනය වූ අද දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසුව එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 146 කට සීමා කිරීමට නේදන් ලයන් සහ පැට් කමින්ස් සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලයන් ලකුණු 49 කට කඩුලු 6 ක් බිඳහෙළමින් මෙම තරගයේදී තමා දවාගත් මුලු කඩුලු සංඛ්‍යාව 9 ක් දක්වා ඉහළ දමාගත්තේය. එංගලන්ත දෙවැනි ඉනිම සුණුවිසුනු කර දැමීම සඳහා ලයන්ට අනගි සහායක් දුන් කමින්ස් ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගත්තේ එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්‍රිස් වෝක්ස්ගේ (37) කඩුල්ලත් සමගිනි.

පසුපෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් වෝක්ස් හතරේ පහර 7 ක් සමගින් ලකුණු රැස්කළ අතර කමින්ස්ගේ පන්දුවක් හමුවේ ස්මිත් අතට උඩ පන්දුවක් දෙමින් එංගලන්ත දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී ගියේය. ජේසන් රෝයි හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක්ද, නායක ජෝ රූට් හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක්ද ලබා සිටියදී ලයන්ගේ ගොදුරු බවට පත් වූහ.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 284
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 374
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 487
එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 146

(ජේසන් රෝයි 28, ජෝ රූට් 28, ක්‍රිස් වෝක්ස් 37, නේදන් ලයන් 49/6, පැට් කමින්ස් 32/4)

-036

 


අදහස් (0)

පළමු තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.