Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු ජය මැජික් එකක් නොවෙයි

පළමු ජය මැජික් එකක් නොවෙයි

editorial - 2020 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කොළඹදී ලැබූ ජයග්‍රහණය මැජික් එකක් නොව එය මහන්සිවී කළ පුහුණුවීම්වල ප්‍රතිඵලයක් බවත් සූරියවැවදී අද පැවැත්වෙන දෙවැනි තරගයෙන් ද එවැනිම ධනාත්මක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා අද (25 වැනිදා) පැවසීය.  

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග තුනකින් සමන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (26 වැනිදා) පැවැත්වේ. දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල ඊයේ පෙරවරුවේ කෙටි පුහුණු සැසියට සහභාගි වූ අතර එම පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වූ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා මෙසේ ද පැවසීය.   

“පුහුණුවීම් හොඳින් කිරීමේ ප්‍රතිඵලය තමයි පළමු තරගයේදී දැකිය හැකි වුණේ. පන්දුවට පහරදීම සහ පන්දු යැවීමත් සාර්ථක වුණා. ඒක මැජික් එකක් නොවෙයි. එම සාර්ථකත්වයේ රහස මහන්සිවෙලා වැඩ කිරීමයි”

“ලැබුණු සෑම අවස්ථාවකදීම මහන්සිවෙලා ආත්ම විශ්වාසය ගොඩනඟා ගත්තා. එයින් සාර්ථකත්වයට ළඟා වුණා. මෙම තරගයේදී ද එය පවත්වාගෙන යෑම තමයි සැළසුම”

“තරගයක් ජයග්‍රහණය කිරීම වඩාත් වැඳගත්. එම ජයග්‍රහණයත් සමඟ සියලුම දෙනා ඉහළ මානසික තත්ත්වයකට පත්වෙනවා”

අද තරගයට කණ්ඩායමේ සූදානම පිළිබඳව මිකී ආතර් මහතා මෙසේ අදහස් දැක්වීය.

“කණ්ඩායම ඉතාමත් ඉහළ ස්ථානයක ඉන්නවා. සියලුම ක්‍රීඩකයන් මෙම තරගයට ඉතාමත් හොඳ සූදානමින් ඉන්නේ. ඉතාමත් තියුණු තරගයකින් පසුව පළමු තරගය ජයග්‍රහණය කිරීමෙන් ඉහළ මානසික තත්ත්වයක් තබාගැනීමේ අවස්ථාව උදාවුණා”

“කොළඹදී පැවැති පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම වෙසකින් තොරව මෙම තරගයට ද සහභාගි වෙනවා.

මිකී ආතර් මහතා පළමු තරගයේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“පළමු තරගයේදී නව පන්දුවෙන් වේග පන්දු යවන්නන් වන නුවන් සහ තිසර  හොඳින් පන්දු යැව්වා. දඟ පන්දු යවන්නන් දෙදෙනා ලකුණු වේගය පාලනය කළා. ඉනිම මැද ඉසුරු උදාන යැවූ ඕවර කීපය ලකුණු වේගය අඩු කරන්න තවත් හේතුවක් වුණා. ඒ වගේම ඔහු වඩාත් තීරණාත්මක කඩුලු තුනක් දවාගත්තා. එම තරගයේදී අපේ කණ්ඩායමේ පන්දු රැකීම දියුණු වෙලා තිබුණා”

“පිතිකරුවන් ලකුණු රැස්කළ ආකාරය පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. පන්දුවට පහර දීම ගොඩක් හොඳයි. හොඳ සම්බන්ධතා ගොඩනැගුණා. තරග ජය ගන්න නම් පිතිකරුවන් ලොකු ලකුණු සංඛ්‍යාවක් රැස්කරන්න ඕනේ. කුසල් පෙරේරා ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. මෙම තරගයේදී ද තවත් හොඳ ප්‍රතිඵලයක් ලබාපොරොත්තුවෙන් ඉන්නවා”

 “අඛණ්ඩව ජයග්‍රහණය කිරීම සඳහා දක්‍ෂතාවලට තරග සැළැස්ම සහ පුහුණුවේදී කර දේවල් මිශ්‍රණය කළ යුතු වෙනවා. ඒ සියලු දේවල් එකතු කරලා රිද්මයට පැමිණිය යුතුයි. ජයග්‍රහණය අනිවාර්යෙන්ම ආත්මවිශ්වාසය වැඩි කරනවා. ජයග්‍රහණයේ දිගු ගමනක් යන්න නම් ආත්මවිශ්වාසය තිබිය යුතුයි”

සූරියවැව ක්‍රීඩාංගණයේ ඊයේ පුහුණු සැසියට කුසල් පෙරේරා, තිසර පෙරේරා, ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් සහභාගි නොවීම පිළිබඳව පුහුණුකරු මෙසේ අදහස් දැක්වීය.

“අපි ඊයේ රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පුහුණු සැසියක් කළා. අපි එම පුහුණු සැසියේදී මහන්සිවෙලා හොඳ කළා. ඒ නිසා අද ක්‍රීඩකයන් කීපදෙනකුට විවේකයක් දුන්නා. අපි ඔවුන්ගෙන් මෙම තරගයේදී වැඩි දායකත්වයක් බලාපොරොත්තු වෙනවා” යැයි මිකී ආතර් මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම තරගාවලියේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුල්ලක තියුණු ජයක් ලැබීය. ඒ හේතුවෙන් තරගාවලි ජයග්‍රහණයට මෙම තරගයේ ජයග්‍රහණය වඩාත් වැඳගත් වී තිබේ.   

කොදෙව් පිල ඊයේ (25 වැනිදා) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පුහුණු සැසියට සහභාගි වීමට නියමිතව තිබූණි.

ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, අවිෂ්ක ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, ළහිරු කුමාර, වනිඳු හසරංග සහ ලක්‍ෂාන් සඳකැන්

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:
කරන් පොලාඩ් (නායක), ශායි හෝප්, ෆැබියන් ඇලන්, සුනිල් ඇබිස්, ඩැරන් බ්‍රාවෝ, රොස්ටන් චේස්, ෂෙල්ඩන් කොටේ‍රල්, ජේසන් හෝල්ඩර්, අල්සාරි ජෝශප්, බ්‍රෙන්ඩන් කිං, කීමෝ පෝල්, නිකලස් පූරන්, රොමන් පවෙල්, රොමාරියෝ ෂෙපර්ඩ් සහ හේඩ්න් වෝල්ෂ්

ඡායාරූප: ඉෂාන් සංජීව


අදහස් (0)

පළමු ජය මැජික් එකක් නොවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.