Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පසුගිය නිලධාරීන්වත් කැඳවන්න’යි ඉල්ලීමක්

පසුගිය නිලධාරීන්වත් කැඳවන්න’යි ඉල්ලීමක්

යොහාන් භාසුර - 2019 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රූපවාහිනී අයිතිය විකිණීමේ ගණුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට 2013 වසරේ සිට චෝදනා එල්ල වන නිසා එම කාලය තුළ ක්‍රිකට් පරිපාලනයේ සිටි නිලධාරීන් ද කැඳවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඊයේ (19) ඉල්ලා සිටියේය.
 
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ එම කමිටුව රැස්වුවද කාරක සභාවේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් සහභාගි නොවීමෙන් ප්‍රමාණවත් මන්ත්‍රීවරු නොමැතිවීම නිසා සාක්‍ෂි විමසීම කල්දැමීමට තීරණය කළේය.
මෙම කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය සුජීව සේනසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරු පමණක් කමිටුවට පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා එහිදී පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රූපවාහිනී විකාශන අයිතිය සහ අනුග්‍රහය ආදි මාර්ග කීපයකින් ලැබීමට තිබූ මුදල් පිළිබඳව කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව තිබුණ ද ප්‍රමාණවත් සාමාජිකයන් නොමැතිව එය කිරීම පළ රහිත බවයි.
 
“ඔබ තුමාට ඕනෑම කෙනෙක් මෙම කමිටුවට කැඳවන්න පුළුවන්ද?

“රූපවාහිනී විකාශන අයිතිය පිළිබඳව මෙහිදී 2013 වසරේ සිට 2020 දක්වායි ඇතුළත්ව තියෙන්නේ. 2013 අපි කවුරුත් පාලනයේ හිටියේ නෑ. 2013 පාලනයේ හිටපු අයත් කැඳවන්න කියාල මම ඉල්ලා සිටිනවා. ඔබතුමා ඒ අයටත් සාධාරණය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා” යැයි ශම්මි සිල්වා මහතා පැවසීය.
 
කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ අවශ්‍ය නම් එය කළ හැකි බවත් එහි කිසිඳු ගැටලුවක් නොමැති බවත්ය.

“මෙහිදී මම කියන්න ඕනේ සමහර රාජ්‍ය ව්‍යාපාර ආයතනවල නිලධාරීන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් හිතනවා අපි ඉන්න කාලයට විතරයි වගකියන්න ඕන කියලා. තනතුර දරන කාලයට විතරයි වගකීම කියලා. නමුත් එහෙම එකක් නෑ. විශ්‍රාම ගියත් කාරක සභාවට කැඳවන්න පුළුවන්. මේ කාරක සභාව විසින්ම මීට කළින් ඇවන්ට්ගාඞ් සහ රක්නා ලංකා සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් ද කැඳවුවා. අපිට එහෙම කරන්න පුළුවන් එහි ප්‍රශ්නයක් නෑ” යයි සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කීවේය.
 
කෝප් කමිටුවේ සාමාජික සුජීව සේනසිංහ මහතා සම්බන්ධයෙන් වෙබ් අඩවියක පළකර තිබූ වාර්තාවක් පිළිබඳව ද මෙහිදී ඒ මහතා කාරක සභාව දැනුවත් කළ අතර ඒ පිළිබඳව ක්‍රිකට් ආයතනය පරීක්‍ෂණයක් පවත්වා කාරක සභාව දැනුවත් කරන ලෙස සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට දැනුම් දැන්නේය.

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, එහි උප සභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ සහ තොරතුරු තාක්‍ෂණ අංශ ප්‍රධානී නදීෂාන් සූරිආරච්චිගේ යන මහත්වරු ඇතුළු නිලධාරීහූ රැසක් ඊයේ කෝප් කමිටුව හමුවට පැමිණ සිටියහ.

    

 


අදහස් (0)

පසුගිය නිලධාරීන්වත් කැඳවන්න’යි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.