Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දුව ප්‍රමිතියෙන් තොර බවට පැමිණිලි

පන්දුව ප්‍රමිතියෙන් තොර බවට පැමිණිලි

යොහාන් භාසුර - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා යොදාගන්නා පන්දුව ප්‍රමිතියෙන් තොර බවට ක්‍රීඩා සමාජ කීපයකින් පැමිණි කර ඇති බව වාර්තා වේ. පළමු පෙළ තරගාවලියට සහභාගි වන ‘ඒ’ සහ ‘බී’ යන කාණ්ඩ දෙකේ තවත් ක්‍රීඩා සමාජ කීපයක් මෙම පන්දුව සම්බන්ධයෙන් වාචිකව පැමිණිළි කර ඇති බවත් ඉදිරියේදී ලිඛිතව පැමිණිළි කිරීමට සූදානමින් සිටින බවත් දැනගන්නට තිබේ.

තරගාවලිය සඳහා මේ දක්වා ලබාදී ඇත්තේ ප්‍රමිතියෙන් අඩු පන්දුවක් බවත් එම පන්දුව හේතුවෙන් ක්‍රීඩකයන්ට උපරිම දස්කම්වලට පැමිණීමට නොහැකි බවට චෝදනා එල්ල වී තිබේ. මෙවර පළමු පෙළ තරගාවලියේ තරග රැසක අසාමාන්‍ය ප්‍රතිඵල ලැබීමට හේතුව මෙම පන්දුවේ ප්‍රමිතියේ දුර්වලතාව බවද ක්‍රීඩකයෝ පවසති.

පළමු පෙළ තරගාවලියට සහභාගි වන ටෙස්ට් ක්‍රීඩකයකුගෙන් ‘ලංකාදීප’ කළ විමසුමේදී ඔහු මෙසේ පැවසීය.

“මේ බෝලෙන් මුකුත් වෙන්නේ නෑ. ඕවරක් කීපයක් දැම්ම ගමන් බෝලෙ අසාමාන්‍ය විදියට වෙනස් වෙනවා. බෝලෙ කැපෙන්නේ නෑ. මේකට හුරුවෙන්න හරි අමාරුයි....මේ තරගාවලියට දීලා තියෙන්නේ ඒ වර්ගයේ හොඳ බෝලෙ නෙමෙයි. ඒ වර්ගයේ නියම  බෝලෙ මීට වඩා ගොඩක් හොඳයි” යයි ද එම ටෙස්ට් ක්‍රීඩකයා පැවසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලසුම වෙන්න ඕනෙ ටෙස්ට් තරගවලට ගන්න පන්දුව හුරු කිරීමයි. නමුත් දැන් වෙන්නේ මොකක්ද? මේ බොරුවක්නෙ කරලා තියෙන්නේ. ජාතික කණ්ඩායම සෙල්ලම් කරන පන්දුවට අපි හුරු වෙන්න ඕනේ” යයිද එම ක්‍රීඩකයා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලිවලට සම්බන්ධ ප්‍රධාන නිලධාරියකුගෙන් මෙම පන්දු ප්‍රශ්නය පිළිබඳව කළ විමසුමේදී පැවැසුවේ මෙම පන්දුවේ ස්වභාවය සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන බවයි.

“හලාවත මේරියන්ස් කණ්ඩායමෙන් පමණයි මේ වන විට ලිඛිත පැමිණිල්ලක් ලැබිලා තියෙන්නේ...පළමු සතියේ පිතිකරුවො හොඳට ලකුණු රැස්කළා. දෙවැනි සතියේ පන්දු යවන්නෝ කඩුලු ලබාගත්තා. ලොකු ප්‍රශ්නයක් නෑ.. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා” යයිද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගබඩා තුළ මෙම ප්‍රමිතියෙන් තොර පන්දු විශාල ප්‍රමාණයක් තිබීම නිසා අඛණ්ඩව මෙම පන්දුව පාවිච්චි කිරීමට සිදුවී ඇති බවද තතු දන්නෝ පවසති.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කළමනාකාරු ලෙස කටයුතු කරමින් සිටියදී ඉන් ඉවත් කර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ උසස් තනතුරට යොමු කළ නිලධාරියකුගේ මැදිහත්වීමෙන් මෙම ප්‍රමිතියෙන් තොර පන්දු තොගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලදී ගෙන ඇති බව ද දැනගන්නට තිබේ.


අදහස් (0)

පන්දුව ප්‍රමිතියෙන් තොර බවට පැමිණිලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.