Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ පාකිස්තානය දිනවති

පන්දු යවන්නෝ පාකිස්තානය දිනවති

editorial - 2019 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස එංගලන්තය සහ පාකිස්තානය අතර නොටිංහැම්හි ටේ‍රන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තරගය, ඉතා තියුණු තරගයකින් අනතුරුව ලකුණු 14 කින් ජයගැනීමට පාකිස්තානය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 349 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට වහබ් රියාස් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 334 ක් පමණි. එහිදී රියාස් ලකුණු 82 කට කඩුලු 3 ක් දවාගත් අතර එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ශදාබ් ඛාන් සහ මොහොමඞ් අමීර් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.

දක්ෂ පිතිහරඹයක නිතර වෙමින් ශතක ලබාගැනීමට ජෝ රූට් (107) සහ ජොස් බට්ලර් (103) සමත් වුවද එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ. ලකුණු 118 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 105 කින් ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.

පන්දු 104 කින් සිය එක්දින ක්‍රිකට් දිවියේ 14 වැනි ශතකය ලබාගත් රූට්, හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් එය සැරසුවේය. සිය 8 වැනි එක්දින ශතකය ලබාගැනීම සඳහා පන්දු 76 කට මුහුණදුන් බට්ලර්, හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු රැස්කළේය. ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 31 කදී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 348 ක් ලබාගත් අතර පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොහොමඞ් හෆීස් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 84 ක් රැස්කළේය.

බාබර් අසාම් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හෆීස්, ඉන් නොනැවතී නායක සර්ෆරාස් අහමඞ් (55) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන ඉනිම ගොඩනැගූවේය. පන්දු 66 කට මුහුණදුන් බාබර් අසාම් හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය 12 වැනි එක්දින අර්ධ ශතකය අලංකාර කළ අතර පන්දු 44 කට මුහුණදුන් සර්ෆරාස් අහමඞ් හතරේ පහර 5 කින් සිය 11 වැනි එක්දින අර්ධ ශතකය සැරසුවේය.
 
ආරම්භක පිතිකරුවන් වූ ඉමාම් උල්හක් (44) සහ ෆකාර් සමාන් (36) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 85 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 58 කදී වාර්තා වූ ඉමාම්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 40 කදී වාර්තා වූ සමාන්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර පාකිස්තාන කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම දවාගත් මුයින් අලී, එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් විය. ක්‍රිස් වෝක්ස්ද උඩ පන්දු 4 ක් රැකගනිමින් සහ කඩුලු 3 ක් දවාගනිමින් එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වීය.

 

-036

 


අදහස් (0)

පන්දු යවන්නෝ පාකිස්තානය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.