Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්ජාබ් ක්‍රීඩකයෝ සැම්සන්ගේ ශතකය බල රහිත කරති

පන්ජාබ් ක්‍රීඩකයෝ සැම්සන්ගේ ශතකය බල රහිත කරති

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 217 ක් පමණි. තරගය ජය ගැනීම සඳහා රාජස්ථාන් කණ්ඩායමට අවසන් පන්දුවේදී ලකුණු 5 ක් අවශ්‍ය විය. එහෙත් එම පන්දුවට මුහුණදුන් සංජු සැම්සන් එල්ල කළ පහරින් ඇදී ගිය පන්දුව ලෝන් ඕෆ් කළාපයේ හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි දීපක් හූඩාගේ දෑත් අතර සිරවීමත් සමග තරගයේ ජය පන්ජාබ් කණ්ඩායමට හිමි විය.

මෙවර තරගාවලියේ පළමු ශතකය ලබාගත් රාජස්ථාන් කණ්ඩායමේ නායක සංජු සැම්සන් පන්දු 63 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 119 ක් රැස්කළේය. ජොස් බට්ලර් (25) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 25 කදී ලකුණු 45 ක්ද, ශිවම් ඩූබේ (23) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 53 ක්ද, රියාන් පරාග් (25) සමග එක්ව පස්වැනි කඩුල්ලට පන්දු 22 කදී ලකුණු 52 ක්ද එක්කිරීමට සැම්සන් සමත් විය.  

නායක ලොකේෂ් රාහුල්, ක්‍රිස් ගේල් සහ දීපක් හූඩා නිරත වූ වේගවත් පිතිහරඹයන්හි ප්‍රතිඵලයක් ලෙස පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 221 ක් ලබා ගත්තේය.

එහිදී පන්ජාබ් ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ රාහුල්, පන්දු 50 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 91 ක් රැස්කරමින් ඉනිමේ අවසන් ඕවරය දක්වාම කඩුල්ලේ රැදී සිටියේය. පන්ජාබ් ඉනිම ආරම්භ කළ ඔහු, දැවී ගියේ චේතන් සකාරියා යැවූ අවසන් ඕවරයේ දෙවැනි පන්දුවේදී රහුල් තේවතියාට උඩ පන්දුවක් දෙමිනි.

ක්‍රිස් ගේල් (40) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රාහුල්, ඉන් නොනැවතී දීපක් හූඩා (64) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 105 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනගමින් පන්ජාබ් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

පන්දු 28 කට මුහුණදුන් හූඩා හයේ පහර 6 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 28 කදී වාර්තා වූ ගේල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය. රියාන් පරාග්ගේ පන්දුවක් හමුවේ බෙන් ස්ටෝක්ස් අතට උඩ පන්දුවක් දෙමින් ගේල්ද, ක්‍රිස් මොරිස්ගේ පන්දුවක් හමුවේ රියාන් පරාග් අතට උඩ පන්දුවක් දෙමින් හූඩාද දැවී ගියහ.

කාසියේ වාසිය දිනූ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායක සංජු සැම්සන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී චේතන් සකාරියා ලකුණු 31 කට කඩුලු 3 ක්ද, ක්‍රිස් මොරිස් ලකුණු 41 කට කඩුලු 2 ක්ද දවාගැනීමට සමත් වූහ.

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 221
(ලොකේෂ් රාහුල් 91, මායන්ක් අගර්වාල් 14, ක්‍රිස් ගේල් 40, දීපක් හූඩා 64, චේතන් සකාරියා 31/3, ක්‍රිස් මොරිස් 41/2)

රාජස්තාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 217
(සංජු සැම්සන් 119, ජොස් බට්ලර් 25, ශිවම් ඩූබේ 23, රියාන් පරාග් 25, අර්ෂ්දීප් සිං 35/3, මොහොමඩ් සාමි 33/2)

 

-036


අදහස් (0)

පන්ජාබ් ක්‍රීඩකයෝ සැම්සන්ගේ ශතකය බල රහිත කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.