Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නායකත්වය අතහරින්න මම ලෑස්තියි

නායකත්වය අතහරින්න මම ලෑස්තියි

දමින්ද විජේසූරිය - 2020 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

විස්සයි-20 කණ්ඩායමේ පරාජයන්ට හේතුව තමන්ගේ නායකත්වය නම්, නායකත්වයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව ලසිත් මාලිංග කියයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති විස්සයි-20 තරගාවලිය නිමා කරමින් සෙනසුරාදා (11 වැනිදා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ලසිත් මාලිංග ඒ බව මාධ්‍ය නියෝජිතයන්ට කියා සිටියේය.

“(ඉන්දියානු සංචාරයේදී) සෑම අංශයකින්ම අපි හොඳට සෙල්ලම් කළේ නෑ... ඒ වගේ හොඳ විස්සයි-20 කණ්ඩායමක් පරාජය කරන්න අපි මීට වඩා හොඳ තනි පුද්ගල දක්‍ෂතා දැක්විය යුතු වෙනවා...අපි තරගාවලිය පුරාම ලබාගත්තේ එකම අර්ධ ශතකයක් විතරයි...පන්දු යවන්නන් ගත්තත් මමත්, අනෙක් පන්දු යවන්නෝත් සාර්ථක වුණේ නෑ..” යයි කී මාලිංග...

“හොඳට පන්දු යැව්වේ (ලක්ෂාන්) සඳකැන් සහ වනිඳු හසරංග. ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට හොඳයි... ඒත් තරගාවලියක් ජයග්‍රහණය කරන්න නම් අපි ඒ (ඉන්දියාව) වගේ හොඳ කණ්ඩායමක් ලකුණු 180 ක් 190 ක් අතර ප්‍රමාණයකට නවත්ත ගන්න ඕනේ.. මං කියන්නේ මුලින් පන්දු යැව්වොත්” යයිද පැවසීය.

විස්සයි-20 ක්‍රිකට් වැනි පිතිකරුවන්ගේ ආධිපත්‍යය පවතින ක්‍රීඩාවක ජයග්‍රහණය රඳා පවතින්නේ පිතිකරුවන්ගේ දක්‍ෂතා මතය. ශ්‍රී ලංකා පිලට මේ වන විට පවතින විශාලතම අඩුව වන්නේ අඩු පන්දු සංඛ්‍යාවකින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගත හැකි පිතිකරුවන් නොමැති වීමයි.

විස්සයි-20 ඉනිමකදී පිතිකරුවන්ට ලැබෙන්නේ පන්දු 120 කි. ඒ පන්දු 120 න් ලකුණු 160 ක් ලබාගත්තත් එය ආරක්‍ෂා කරගැනීමට පහසු ලකුණු සංඛ්‍යාවක් නොවේ.

“විස්සයි-20 ක්‍රිකට් බලනකොට ලකුණු 170 ක විතර සාමාන්‍යයක් (සෑම තරගයකදීම ලබාගන්නා ලකුණු එකතුවේ සාමාන්‍යය අගය) තියෙන්න ඕන. ඒත් දැනට අපට ඒ දේ නෑ” යයිද මාලිංග පැවසීය.

ශ්‍රී ලංකා පිලේ අවසන් විස්සයි-20 තරග 10 න් ශ්‍රී ලංකා පිල ජයගෙන ඇත්තේ තරග 4 ක පමණි. ඒවායේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු රැස්කිරීම සටහන් වූයේ 125, 165, 182, 147, 99, 117, 142, (-), 142 සහ 123 ක් වශයෙනි. මෙම තරග 10 දීම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170 සීමාව පසුකර ගොස් ඇත්තේ පාකිස්තානයට එරෙහිව ලාහෝරයේදී පැවැති තරගයේදී පමණි.

කෙසේ වෙතත් මාලිංග කියන්නේ තමන් නායකයා වශයෙන් වගකීම බාරගෙන නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

“පන්තියේ ළමයි වැඩකරන්නේ නැත්නම් එකට මොනිටර් (පන්ති නායකයා) මාරු කරලා හරියන්නේ නෑ... ඒත් එක විසඳුමක් නම් ඒකටත් මම ලෑස්තියි” යයි මාලිංග කීවේ තමන් නායකයා වුවද කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ දස්කම් නැතිව කණ්ඩායම ජයග්‍රහණය නොකරන බව මැනවින් පැහැදිළි කරමිනි.

ඉන්දියව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී පළමු තරගය වර්ෂාවට සේදී ගිය නමුත් ඉතිරි තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.
 
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය සැප්තැම්බරයේදී මහනුවර පල්ලෙකැළේදී පැවැති විස්සයි-20 තරගය ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිල ජයගත් අවසන් විස්සයි-20 තරගයයි. එම තරගයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග ලකුණු 126 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි නවසීලන්ත පිලේ ගමන ලකුණු 88 දී නතර කළේය. එහෙත් එදා මෙදා තුර විස්සයි-20 අන්තර්ජාතික තරග 5 කදී දවාගෙන ඇත්තේ කඩුලු 2 ක් පමණි.

ආරක්‍ෂක හේතූන් නිසා පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැති වූ හෙයින් ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායකත්වය දසුන් ශානක වෙත පැවරිණ. දසුන් ශානක යටතේ පාකිස්තානයට ගියේ නවක කණ්ඩායමක් වූවත් එහිදී පාකිස්තානය පරදවා 3-0 ක තරගාවලි ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් කණ්ඩායමේ නිත්‍ය නායකයා මාලිංගම වන හෙයින් ඕස්ටේ්‍රලියානු සංචාරයේදී මාලිංග නැවතත් නායකත්වයට පත්කරන ලද නමුත් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට උරුම වූයේ 3-0 ක පරාජයකි. ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ විස්සයි-20 තරගාවලි දෙකකදී තරග හයෙන් 5 ක් ම පරාජය වී තිබේ. අනෙක් තරගය වර්ෂාවට සේදී ගියේය.

ඇතැමුන් පෙන්වා දෙන්නේ ලසිත් මාලිංග කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටින විට කණ්ඩායම විවිධ පාර්ශ්වයන්ට බෙදී සිටින බවයි. දසුන් ශානක යටතේ පාකිස්තානයට ගිය ලා බාළ කණ්ඩායමක් පාකිස්තානයේදීම පාකිස්තානය පරදා 3-0 ක තරගාවලි ජයක් ලැබීම ඊට හොඳම නිදසුන බවද ඔව්හු පෙන්වා දෙති.

ශ්‍රී ලංකා කණ්ඩයම විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් 2014 දී ශ්‍රී ලංකා පිලේ නායකයා වශයෙන් බංග්ලාදේශයට ගියේ දිනේෂ් චන්දිමාල්ය. එහෙත් පිතිකරුවකු වශයෙන් චන්දිමාල් අසාර්ථක වීම හේතුවෙන් තරගාවලිය අතරමැදදී චන්දිමාල් පසෙකින් තබා නායකත්වය ලසිත් මාලිංගට පැවරූ හෙයින් විස්සයි-20 ලෝක කුසලාන දිනා එන විට කුසලානය අතැතිව ආවේ ලසිත් මාලිංගයි.

එහෙත් බොහෝ දෙනාට අමතකව ගිය යථාර්ථය නම් 2014 විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ ඉතාමත් පළපුරුදු නායකයන් මෙන්ම ක්‍රිකට් උපායයේ අති විශිෂ්ටයන් වූ වූ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන්, රංගන හේරත් සහ ඇන්ජලෝ මැතිව්ස් යන සියලු දෙනාගේ සහායෝගය මාලිංගට ලැබුණ බවයි.

2014 සිට වසර දෙකක පමණ කාලයක් සිය නායකත්වය රැකගත් නමුත් 2016 ලෝක කුසලාන තරගාවලියේදී ලසිත් මාලිංගට නායකත්වය පමණක් නොව කණ්ඩායමේ ස්ථානය පවා අහිමි වූයේ දිගින් දිගටම ශාරීරික ආබාධ වැලකට ලක්වීමෙනි. පසුව නියමිත ශාරීරික යෝග්‍යතාවට පැමිණි මාලිංග 2018 දී නැවත වරක් ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායකයා විය.

 


අදහස් (2)

නායකත්වය අතහරින්න මම ලෑස්තියි
  • Chandana F Sunday, 12 January 2020 05:28 PM

    වේග පන්දු යවන්නෙකුට බොහෝ දුරට බලපානවා. දඟ පන්දු යවන්නෙකුට වගේ නෙවෙයි. නායකයෙකු වශයෙන් අසාර්ථකයි........

    Reply 0       0

    madu Monday, 13 January 2020 10:20 AM

    ලොකු දෙයක්. ඇති යන්තම්.......... සේරම එකයි......

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.