Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තයෙන් සීතල අභියෝගයක්

නවසීලන්තයෙන් සීතල අභියෝගයක්

editorial - 2019 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් අත තිබූ තරගයේ වාසිය හීන්සීරුවේ උදුරාගත් නවසීලන්ත කඩුලු රකින්නා සහ ටිම් සවුති ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නලලත රැළි නංවා තිබේ.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ තුන්වැනි දිනය වන අද (16 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7 ක් දැවී ලකුණු 195 ක් ලබාගත් නවසීලන්ත කණ්ඩායම, මෙම තරගයෙන් ජයගැනීමට නම් නව වාර්තාවක් පිහිටුවන සේ ශ්‍රී ලංකා පිලට අභියෝග කරමින් සිටී.

ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයක් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් සිව්වැනි ඉනිමේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 99 කි. 2014 දී පාකිස්තානු පිලට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 99 ක් ලබා ටෙස්ට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහෙත් සිව්වැනි ඉනිමට මුහුණ දීමේ අභියෝගය ශ්‍රී ලංකා පිල හමුවේ තිබියදී නවසීලන්ත පිල මේ වන විටත් ලකුණු 177 ක් ඉදිරියෙන් සිටී.

තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබේ.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට හිමිවන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 60 කි.

දෙවැනි ඉනිමේදී කිසිදු අපහසුවකින් තොරවම නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කරගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ තේ පානය වන විට නවසීලන්ත පිතිකරුවන් හය දෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යැවූයේ නවසීලන්තයේ වාසිය ලකුණු 106 ක් තරම අඩු මට්ටමක තබා ගනිමිනි. එහෙත් තේ පානයෙන් පසුව එක්වූ නවසීලන්ත කඩුලු රකින්නා වන බී.ජේ. වොට්ලිං සහ ටිම් සවුති හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පිලේ ඉලක්කය 160 දක්වා ඈතට ඇදගෙන ගියහ.

සවුති දැවී යාමෙන් පසුව පිටියට පිවිසි විලියම් සමර්විල්ට එක්වූ වොට්ලිං, අද සවස ක්‍රීඩාව නතර කරන විට නවසීලන්ත පිල ලකුණු 177 ක් ඉදිරියෙන් තැබීය.

නවසීලන්ත ආරම්භක පිතිකරුවා වන ටොම් ලෙතම් පැවසූවේ තරගය ජයගැනීමට ලකුණු 200 ක පමණ ප්‍රමාණවත් බවයි. එහෙත් ශ්‍රී ලංකා කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල කී පරිදි ගාල්ල තණතීරුවේ වත්මන් ස්වභාවය අනුව හෙට - අනිද්දා දින දෙකේදී ලකුණු 225 ක පමණ ඉලක්කයක් හඹා යා හැකිය.

නවසීලන්ත දෙවැනි ඉනිමේදී යැවුණු ඕවර 63 න් වේග පන්දු යවන්නන් වන සුරංග ලක්මාල් (8) සහ ළහිරු කුමාර (5) දෙදෙනා යැවූයේ ඕවර 13 ක් පමණි. ඉතිරි ඕවර 50 ම යැවූ අකිල ධනංජය, ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය, කඩුලු හතම තමන් අතරේ බෙදා ගත්හ.

නවසීලන්ත පිතිකරුවන් අතුරින් දෙවැනි ඉනිමේදී යම් තරමක හෝ ප්‍රතිරෝධයක් දැක්වූයේ ආරම්භක පිතිකරු ටොම් ලේතම් පමණි. එයද හෙන්රි නිකොල්ස් සමග එක්ව කළ වේගවත් ලකුණු රැස්කිරීමකදීය. ලකුණු 25 කට කඩුලු 3 ක් දැවී ගොස් තිබියදී හෙන්රි නිකොල්ස් සමග එක්වූ ලෙතම්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් විනාඩි 43 ක දී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් මෙම පිතිකරුවන් දෙදෙනාම දැවී යාමත් සමගම නවසීලන්තය නැවතත් ආරක්‍ෂාකාරී තරග රටාවකට යොමු විය.

දෙවැනි ඉනිම ආරම්භ කළ අවස්ථාවේ සිටම ජීට් රාවල් සහ ටොම් ලෙතම් දෙදෙනා ලකුණු ලබාගැනීමට වඩා සිය කඩුලු ආරක්‍ෂා කරගැනීමට උනන්දු වූහ. එහි ප්‍රතිඵලයක් වූයේ මුලු ලකුණු සංඛ්‍යාව 08 ක් ව තිබියදී රාවල්ට කඩුල්ල අහිමි වීමයි.

අකිල ධනංජය පන්දු යවමින් සිටියදීම, ක්ෂණික තීරණයක් ගත් දිමුත් කරුණාරත්න ධනංජය ද සිල්වා කැඳවීය. මුල් ඉනිමේදී කේන් විලියම්සන්ට සිදුවූ දේ මෙවර ජීත් රාවල්ට සිදුවිය. පන්දුව යන්තමින් තල්ලු කිරීමට ජීට් රාවල් ගත් උත්සාහයේදී ෂෝට් මිඞ් විකට්හි සිටි දිමුත් කරුණාරත්නට පහසු උඩපන්දුවක් ලැබිණ.

කෙසේ වෙතත් පසුව පැමිණි කේන් විලියම්සන්ට හෝ ලකුණු සොයා යාමේ උවමනාවක් නොවීය. දිවා ආහාරයට පෙර පන්දු 20 කට මුහුණ දුන් නමුත් විලියම්සන්ගේ නමට ඉදිරියෙන් සටහන් වී තිබුණේ ලකුණු 03 ක් පමණි. විනාඩි 50 ක කාලයක් ඇතුළත ඕවර 13 කට මුහුණ දුන් නවසීලන්ත පිතිකරුවන් ලබා සිටියේ ලකුණු 18 ක් පමණි.

අද පෙරවරුවේ පළමු හෝරාවට සාර්ථකව මුහුණ දුන් සුරංග ලක්මාල් සහ නිරෝෂන් දික්වැල්ල එම කාලය තුළදී ලකුණු 35 ක් රැස්කර ගත්හ. ටේ‍රන්ට් බෝල්ට් විසින් යවන ලද වේග පන්දුවක්, සුරංග ලක්මාල්ගේ වැලමිටට නොවදින්නට ශ්‍රී ලංකා ඉනිම 267 ට වඩා දීර්ඝ වන්නට තිබිණ. ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයට ඉහළින් නරඹන්නන් අතරට යැවීමත් සමගම තවත් ක්‍රීඩකයකු මිඞ් විකට් කලාපයේ රැඳවූ බෝල්ට් පිතිකරුවාට බවුන්සර් පන්දු එවීම ඇරඹීය. ඒවායින් එකක් ලක්මාල්ගේ වැලමිටේ වැදීමෙන් පන්දු දෙකකට පසුව ලක්මාල්ගේ ඉනිම නිමා විය.

සුරංග ලක්මාල් සහ නිරෝෂන් දික්වැල්ල අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් පැවති ලකුණු 81 සම්බන්ධතාව නිසා නවසීලන්තය සමග කරට කර සටනකට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. පැය තුනකට ආසන්න කාලයක් පිටියේ රැඳුණු දික්වැල්ල වගකීම කරට අරගෙන පන්දුවට පහර දුන්නේ සහායක පිතිකරුවා ආරක්‍ෂා කරගනිමිනි. සුපුරුදු පිතිහරඹ රටාවට හාත්පසින්ම වෙනස් රටාවක් අනුගමනය කළ දික්වැල්ල මුහුණ දුන් පන්දු 109 න් හතරේ සීමාවට ගියේ 3 ක් පමණි. කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් දෙදෙනාගේ අප්‍රතිහත ධෛර්යය නිසා ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලකුණු 18 ක වාසියක් අත්කරගත්තේය.

 

ජායාරූප චතුර එස්‍.කොඩිකාර

 


අදහස් (0)

නවසීලන්තයෙන් සීතල අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.