Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය ලකුණු 138 ක් ඉදිරියෙන්

නවසීලන්තය ලකුණු 138 ක් ඉදිරියෙන්

දමින්ද විජේසූරිය - 2019 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ටොම් ලේතම් (154), බී.ජේ. වොට්ලිං (නොදැවී 81) සහ කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් (නොදැවී 83) තිදෙනාගේ පිතිහරඹය නිසා පහසුවෙන්ම ශ්‍රී ලංකාවේ ලකුණු 244 පසුකර ගිය නවසීලන්ත කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 138 ක මුල් ඉනිමේ වාසියක් ලබා ගත්තේය. කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ සිව්වැනි දිනය වූ අද (25 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට නවසීලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 382 ක් ලබා සිටියේය.

තරගයේ ඉතිරිව ඇත්තේ දිනයක කාලයක් පමණක් වුවද තවමත් දෙපිලේම මුල් ඉනිම හෝ අවසන් වී නොමැත.

ආරම්භක පිතිකරුවා වූ ටොම් ලෙතම් සහ කඩුලු රකින්නා වූ බී.ජේ වොට්ලිං එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඉන් පසුව පිටියට පිවිසි කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර දුන්නේ හතරේ සීමාව සිය දෙපතුල අසළටම පැමිණ තිබූ පරිද්දෙනි. ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් ක්‍රීඩා පිටියෙන් ඉවතට යන පරිදි හයේ පහරක් ගැසූ ග්‍රැන්ඞ්හෝම්, තරුණ වමත් දඟ පන්දු යවන්නා වන ලසිත් ඇඹුල්දෙණියගෙන් ලකුණු 42 ක් උදුරාගත්තේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් ඔහුට සංග්‍රහ කරමිනි.

පැය හයකට වැඩි කාලයක් කඩුල්ල රැකගත් නවසීලන්ත ආරම්භක පිතිකරුවාගේ මූලික අභිප්‍රාය වූයේ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව පසුකරන තුරු කඩුල්ලේ රැඳීමයි. එය එලෙසින්ම ඉටුකරගත් වමත් පිතිකරුවා, ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් පා ආවරණයේ වැදී දැවී යාමට පෙර පන්දු 251 කට මුහුණ දී එයින් 15 ක් හතරේ සීමාවට පිටත්කර යවා තිබිණ. හෝරා තුනකට වැඩි කාලයක් පුරා සිය ජ්‍යෙෂ්ඨ පිතිකරුවාට කදිම සහයෝගයක් දුන් නවසීලන්ත කඩුලු රකින්නා, සිය අපරාජිත ඉනිම තුළදී පන්දු 208 කට මුහුණ දී තිබිණ. එහෙත් ඔහුගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් පමණි.

සිව්වැනි දිනයටත් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් ආරම්භය පමා විය. අද උදෑසන සිටම පැවැති පොද වැස්ස පෙරවරු 9.00 ට පමණ නතර විය. ක්‍රීඩාංගණයේ කඩුල්ල වසා තිබූ ආවරණ ඉවත් කර ක්‍රීඩාංගණය පරීක්ෂා කරමින් යද්දී නැවතත් පොද වැස්ස ආරම්භ වූයෙන් විවෘත කළ පෙදෙස් නැවත වසා දමන ලදි.

පෙරවරු 9.40 වන විට ක්‍රීඩාංගණයේ හතරේ සීමාව ඇතුළත සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණ. ඉතා සිහින් (පොද) වැස්සක් තිබෙන බැවින් හතරේ සීමාව ඇතුළත විවෘත කළ නොහැකි විය. පස්වරු 12.30 ට පමණ පිටියට පැමිණි විනිසුරුවරු ඒ වන විට පොද වැස්ස නතරව තිබූ හෙයින් ක්‍රීඩාංගණය විවෘත කරන ලෙස උපදෙස් දුන්හ. පස්වරු 1.10 ට ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ මයිකල් ගෆ් සහ බෲස් ඕක්සන්ෆර්ඞ් විනිසුරුවරු දෙදෙනා විනාඩි 30 කට පසුව තරගය ආරම්භ කළහ.

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

නවසීලන්තය ලකුණු 138 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.