Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නව ව්‍යවස්ථාව ගැන මනෝහර්ගේ අවධානය

නව ව්‍යවස්ථාව ගැන මනෝහර්ගේ අවධානය

යොහාන් භාසුර - 2019 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් එය ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩාවලට බලපාන නීතියක් ලෙස වෙනස් කළ යුතු බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) සභාපති ශෂාන්ක් මනෝහර් මහතා පවසා තිබේ. මනෝහර් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මෙසේ ද පැවසූ බව වාර්තා වේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් එය සියලුම ක්‍රීඩාවලට බලපාන ආකාරයට වෙනස් කළ යුතුයි. ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් බලපාන ආකාරයට වෙනස් කිරීම ගැලපෙන්නේ නෑ” යැයි මනෝහර් මහතා පවසා තිබේ.

“එය පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරමින්නේ ඉන්නේ. එය පාර්ලිමේන්තුව කරයි” යනුවෙන් එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි දැනගන්නට තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ක් මනෝහර් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අතර හමුව ඊයේ පැවැත්විණි. අයි.සී.සී. සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මුණගැසුණි.  

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා කළ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීමට පැමිණි බව මනෝහර් මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ.

 මෙම සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ රූපවාහිනී අයිතිය විකිණීම පිළිබඳ ගණුදෙනුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපරිම සහයෝගය දීමට සභාපතිවරයා පොරොන්දු වූ බවයි.  

“අපි කටයුතු කරගෙන යන විදිය ගැන අයි.සී.සී. සභාපතිවරයා සතුට පළ කළා. ඒ වගේම රූපවාහිනී අයිතිය විකිණීම සඳහා අයිසී.සී. එකෙන් සියලුම දේවල් කරලා දෙන්න පොරොන්දු වුණා. ඒ සඳහා උපරිම මිලක් ලබාගන්න සහයෝගය දෙන්නත් පොරොන්දු වුණා”

“දියගම ක්‍රීඩාංගණයේ වැඩෙත් කරන්න පුළුවන්. අපි අඩු පොලියට බැංකුවකින් ණයක් අරගෙන, වසරකට අයි.සී.සී. එකෙන් පොඩි ගාණක් කැපෙන විදියට කරන්න සැළසුම් කරනවා. අයි.සී.සී. එකෙන් වසරකට පොඩි ගාණන් කැපෙන විදියට. අපිට අයි.සී.සී.යෙන් රුපියල් මිලියන 30 ක් හෝ 40 ක් වගේ ලොකු ගණන් ඉල්ලන්නත් බෑනේ” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.   

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයකු වසර නවයකට පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.  

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

නව ව්‍යවස්ථාව ගැන මනෝහර්ගේ අවධානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.