Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනංජයගේ කඩුලු ත්‍රිත්වය පිටියෙන් පිටට වීසිවෙයි

ධනංජයගේ කඩුලු ත්‍රිත්වය පිටියෙන් පිටට වීසිවෙයි

editorial - 2021 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර දෙකකට පසුව කොදෙව් පිලට කැඳවූ ක්‍රිස් ගේල්ගේ පුනරාගමනය සම්පූර්ණයෙන්ම නිශ්ක්‍රිය කළ අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් දවාගත්තේය. එහෙත් ධනංජයගේ ඊළඟ ඕවරයේදී කඩුලු ත්‍රිත්වයට පිටියෙන් පිටතට වීසිවන සේ පහර දුන් කිරන් පොලාර්ඩ් තවත් ලෝක වාර්තාවක් සමකරමින් පළමු විස්සයි-20 තරගයේදී කොදෙව් කණ්ඩායම කඩුලු 4 ක ජයක් කරා කැඳවාගෙන ගියේය.

මෙම ප්‍රහාරයත් සමගින් අන්තර්ජාතික තරගයකදී, ඕවරයේ පන්දු 6 ටම හයේ පහර 6 ක් ගැසූ තුන්වැනි පිතිකරුවා වශයෙන් පොලාර්ඩ් වාර්තා පොතට ඇතුළත් විය. ඔහුට පෙර යුවරාජ් සිං (2007 දී එංගලන්තයට එරෙහිව), සහ හර්ෂල් ගිබ්ස් (2007 දී නෙදර්ලන්තයට එරෙහිව) එකම ඕවරයකදී පන්දු 6 ටම හයේ පහර ගසා තිබිණ.

පන්දු 11 කින් ලකුණු 38 ක් ලබාගත් පොලාර්ඩ් වනිඳු හසරංග හමුවේ දැවී ගියේය. එහෙත් ලකුණු 132 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි කොදෙව් පිල වෙනුවෙන් 13 වැනි හයේ පහර ගැසූ ජේසන් හෝල්ඩර් පන්දු 41 ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කළේය.

“පන්දු 6 ට හයේ ඒවා 6 ක් ගහන්න පුළුවන් කියලා මට හිතුණේ තුන්වැනි එකට පස්සේ.. ඒත් 5 ක් ගැහැව්වාට පස්සේ මම දැනගත්තා පන්දු යවන්නා උත්සාහ කරන්නේ මාව දවාගන්න නෙමේ හයවැනි හයේ පහර නොකා ඉන්න කියලා”

“කමක් නෑ... උත්සාහ කරලා බලපන්’ කියලා මම මටම කියාගත්තා” යයි පොලාර්ඩ් පැවසීය.

තරගය පරාජය වූ නමුත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ප්‍රතිවාදියාගේ දස්කම් අගය කිරීමට පසුබට නොවීය.

“අපි දන්නවා පොලාර්ඩ් කියන්නේ මහ විනාශකාරී ක්‍රීඩකයෙක් කියලා...”

“ඒත් මම අකිලට කිව්වේ හයවැනි හයේ පාර කෑවත් කමක් නෑ.. ඔහුගේ කඩුල්ල දවාගන්න උත්සාහ කරන්න කියලයි.. ඒත් අවාසනාවට වගේ ඒක වුණේ නෑ” යයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ක්‍රිකට් තරගයක පන්දු 6 ටම හයේ පහර ගසා ඇත්තේ පිතිකරුවන් 8 දෙනකු පමණි. එහි පළමු වැනි අවස්ථාව 1968 දී නොටිංහැම්ප්ෂයර්හි පැවැති තරගයකදී ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ පිත්තෙන් පැමිණි නමුත් එය පළමු පෙළ තරගයක් විය. අන්තර්ජාතික තරග වලදී මෙම දස්කම වාර්තා වී ඇත්තේ තුන් වතාවකි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේදී ලබාගත්තේ කඩුලු  9 ක් දැවී ලකුණු 131 ක් පමණි. පහසු ඉලක්කයක් හඹා යාම ඇරඹූ කොදව් පිලට ආරම්භක පිතිකරුවන් වූ එවින් ලුවිස් සහ ලෙන්ඩ්ල් සිමන්ස් දෙදෙනාගෙන් පන්දු 20 කදී ලකුණු 52 ක් ලැබිණ.

මැතිව්ස්ගේ පළමු ඕවරයේදී හයේ පහර 3 කින් ශ්‍රී ලංකා නායකයාට සංග්‍රහ කළ ලුවිස්ගේ උඩපන්දුවක් හතරේ සීමාව ආසන්නයේ සිටි ධනුෂ්ක ගුණතිලක විසින් රැකගන්නා ලද අවස්ථවේදී අකිල ධනංජයට කඩුල්ල හිමිවිය. අනතුරුව යැවූ පන්දු දෙකකින් ක්‍රිස් ගේල් (0) සහ නිකොලස් පූරන් දවාගත් අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීවේය.

ඊළඟ ඕවරයේදී ලෙන්ඩ්ල් සිමන්ස් දැවී ගිය බැවින් ඕවර 5 ක් අවසානයේදී ලකුණු 62 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබිණ. එහෙත් කිරන් පොලාර්ඩ්ගේ විනාශකාරී පිතිහරඹය හේතුවෙන් තවත් ඕවරයක් අවසන් වන විට ලකුණු සංඛ්‍යාව 98 කට කඩුලු 4 ක් විය.

ධනංජයගෙ කඩුලු ත්‍රිත්වයත්, වනිඳු හසරංග දවාගත් කඩුලු 3 ත් හැරෙන්නට වෙනත් කිසිදු පන්දු යවන්නකුට කඩුල්ලක් දවාගත නොහැකි විය. කඩුලු ත්‍රිත්වයක් ලබාගත් නමුත් අකිල ධනංජයගේ ඕවර 4 දී ලකුණු 62 ක් උදුරා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත් වූහ.
 
මේ වසරේදී අන්තර්ජාතික තරග 5 කට (ටෙස්ට් තරග 4 ක් සහ එක්දින තරගයක්) මුහුණ දී සිටින ශ්‍රී ලංකා පිලට තවමත් තරගයක් ජයගැනීමේ අවස්ථාවක් ලැබී නැත.

සිය මංගල විස්සයි-20 තරගයට මුහුණ දුන් පැතුම් නිස්සංක පන්දු 34 කින් ලබාගත් ලකුණු 39 ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කළ හොඳම පිතිහරඹය විය. හතරේ පහර 3 ක් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළ 22 හැවිරිදි නවකයා.., ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සමගින් එක්ව ලකුණු 51 ක සම්බන්ධතාවක්ද ගොඩැංවීය. ඒ හැරෙන්නට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි විය.

තරග 3 කින් සමන්විත තරගාවලියේ දෙවැනි තරගය අද (5 වැනිදා) පැවැත්වෙන අතර තුන්වැනි තරගය ඉරිදා (7 වැනිදා) පැවැත්වේ. මෙම තරග දෙක පිළිවෙලින් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සෙනසුරාදා (6) සහ සඳුදා (8) අලුයම 3.30 ට ආරම්භ වේ.


ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 131 යි
(නිරෝෂන් දික්වැල්ල 33, පැතුම් නිස්සංක 39, දිනේෂ් චන්දිමාල් 11, වනිඳු හසරංග 12, අශේන් බණ්ඩාර 10, ඔබේඩ් මැකෝයි 25/2)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 13.1 කදී කඩුලු 6 ක් දැවී 134 යි
(ලෙන්ඩ්ල් සිමන්ස් 26, එවින් ලුවිස් 28, කිරන් පොලාරඩ් 38, ජේසන් හෝල්ඩර් නොදැවී 29, අකිල ධනංජය 62/3, වනිඳු හසරංග 12/3)

 


- 213

 


අදහස් (0)

ධනංජයගේ කඩුලු ත්‍රිත්වය පිටියෙන් පිටට වීසිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.