Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිල්ලි ක්‍රීඩකයෝ හයවැනි ජයත් ලබති

දිල්ලි ක්‍රීඩකයෝ හයවැනි ජයත් ලබති

editorial - 2020 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඩුබායිහිදී බදාදා (14 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයෙන් ලකුණු 13 ක ජයක් වාර්තා කරමින් මුම්බායි පිල අභිබවා යාමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී දිල්ලි කණ්ඩායම ලැබූ 6 වැනි ජයග්‍රහණය ලෙස මෙය සටහන් වේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය රාජස්තාන් කණ්ඩායමට ඇන්රි‍ක් නෝයේ සහ තුෂාර් දේශ්පාණ්ඩේ ප්‍රමුඛ දිල්ලි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි. එහිදී නෝයේ ලකුණු 33 කට කඩුලු 2 ක්ද, දේශ්පාණ්‍ඩේ ලකුණු 37 කට කඩුලු 2 ක්ද බිඳහෙළීමට සමත් වූහ.


රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු බෙන් ස්ටෝක්ස් පන්දු 35 කදී  හතරේ පහර 6 ක් සමග ලකුණු 41 ක් රැස්කළේය. රොබින් උතප්පා පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක්ද, ජොස් බට්ලර් පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ‍කැපිටල්ස් කණ්ඩායමේ කඩුලු 2 ක් ලකුණු 10 ක් තුළ බිඳ වැටිණ. එතැන් පටන් ශිකර් ධවාන් (57) සමග එක්වූ නායක ශ්‍රෙයාස් අයියර් (53) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 85 ක ‍සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

පන්දු 43 කට මුහුණදුන් අයියර් හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 33 කදී වාර්තා වු ධවාන්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. දිල්ලි පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් වූ ජොෆ්රා ආචර් සිය ඕවර 4 ලකුණු 19 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත්තේය.
 

දිල්ලි කැපිටල්ස්  - ඕවර 20 කදී කඩුලු 7 කට 161
(ශිකර් ධවාන් 57, ශ්‍රෙයාස් අයියර් 53, මාකස් ස්ටොයිනිස් 18, ජොෆ්රා ආචර් 19/3, ජයදේව් උනාඩ්කට් 32/2)

රාජස්ථාන් රෝයල්ස්  - ඕවර 20 කදී කඩුලු 8 කට 148
(බෙන් ‍ස්ටෝක්ස් 41, රොබින් උතප්පා 32, සංජු සැම්සන් 25, ජොස් බට්ලර් 22, ඇන්රික් නෝයේ 33/2, තුෂාර් දේශ්පාණ්ඩේ 37/2)

-036

(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)


අදහස් (0)

දිල්ලි ක්‍රීඩකයෝ හයවැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.