Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිමුත් - තිරිමාන්න අධිෂ්ඨානශීලී ගමනක

දිමුත් - තිරිමාන්න අධිෂ්ඨානශීලී ගමනක

editorial - 2019 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)

නවසීලන්ත පිතිකරුවන්ට පමණක් නොව ඉවසීම සහ තැන්පත්කම තමන්ටත් ඇතැයි පෙන්නුම් කළ දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න දෙදෙනා ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයගැනීමේ අපේක්‍ෂාවෙන් අධිෂ්ඨානශීලී ගමනක යෙදෙමින් සිටිති. තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 268 ක් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් දිමුත් සහ තිරිමාන්න දෙදෙනා තරගයේ සිව්වැනි දිනය වන අද (17 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනංවා සිටියහ.

ඉතිරි ලකුණු 135 ලබාගන්නට සම්පූර්ණ දිනයක් මෙන්ම කඩුලු 10 ක්ද අත තිබේ.

පැය තුන හමාරකට ආසන්න කාලයක් තිස්සේ සිය කඩුලු ආරක්‍ෂා කරගත් නායක කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න මහත් කල්පනාකාරී ලෙසින් ලකුණු ලබාගත් නමුත් ඉඳහිට ‘රිවර්ස් ස්වීප්’ පහර කිහිපයක්ද දක්නට ලැබිණ. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම කොතෙක් ඉවසිලිවන්ත පිතිහරඹයක යෙදුණේද යත් පළමු හතරේ පහර දැකගත හැකිවූයේ 22 වැනි ඕවරයේදීය. විලියම් සමර්විල්ගේ පන්දුවක් ස්වීපර් කවර්ස් කලාපය හරහා දිමුත් කරුණාරත්න හතරේ සීමාවට යවන විට පුවරුවේ සටහන්ව තිබුණේ ලකුණු 37 කි.

තුන් වතාවක් වාසනාව ලද දිමුත් කරුණාරත්න පිට පිටම මුහුණ දුන් පන්දු දෙකකදීම කඩුල්ල ආරක්‍ෂා කරගැනීමේ වාසනාව ලැබීය. ලකුණු 58 ක් ලබා සිටියදී අජාස් පතෙල්ගේ පන්දුවකට ගැසූ පහරකින් දිමුත් දුන් උඩපන්දුවක් ෆෝවර්ඞ් ෂෝට් ලෙග්හි සිටි ටොම් ලෙතම් අතින් ගිලිහී ගියේය. දිමුත් මුහුණ දුන් ඊළඟ පනදුවේදී ස්ටම්ප් කරගැනීමට තිබූ පහසු අවස්ථාවක් කඩුලු රකින්නා වූ වොට්ලිං අතින් ගිළීහී ගියේය. මෙම අවස්ථා දෙකේදී ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 100 ක් සහ 101 ක් විය.

දෙදෙනා අතර සම්බන්ධතාව ලකුණු 111 ක් වීමත් සමගම ශ්‍රී ලංකාව වෙනවෙන්, ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේදී, පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ඉහළම සම්බන්ධතාව ලෙසින් එය වාර්තා පොතට එක්විය. එහි පැරණි වාර්තාව වූයේ රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ දෙදෙනා 1992 දී ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ගොඩනැංවූ ලකුණු 110 යි. ඊට අමතරව, නවසීලන්ත පිලට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනකු විසින් ගොඩනංවන ලද හොඳම සම්බන්ධතාව ලෙසින්ද එය සටහන් වෙයි. 1992 දී නවසීලන්තයට එරෙහිව එස්.එස්.සී පිටියේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක් එක්කළ රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ එහි පැරණි වාර්තාවට හිමිකම් කීහ.

අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අත්වූයේ 3-0 ක පරාජයකි. එංගලන්තයට එරෙහිව පැවැති එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට ලකුණු 300 ඉක්මවූ ඉලක්ක හඹා යාමට සිදුවිය. එහෙත් එම අවස්ථා තුනේදීම ලකුණු 211 කින්, ලකුණු 57 කින් සහ ලකුණු 42 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේදී පැවැති තරගාවලියේදී ඩර්බන් නුවරදී ලකුණු 304 ක් සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයෙන් ඓතිහාසික ජයක් ලබාගත්තා පමණක් නොව පෝර්ට් එළිසබෙත්හිදී පැවැති තරගයත් ජයගත්තේ සිව්වැනි ඉනිමේදී කඩුලු 2 කට ලකුණු 197 ක් ලබාගනිමිනි.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමම ගාල්ලේදී සොයා යන්නේ ලකුණු 268 ක ඉලක්කයකි.

කෙසේ වෙතත් අද සවස තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ තාවකාලික පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා කීවේ තවමත් තරගය ජයගෙන නැති බවත් ඉතිරි ලකුණු සංඛ්‍යාව ලබාගැනීම පහසු නොවන බවත්ය..

“වඩාත්ම වැදගත් වෙන්නේ පිට්ටනිය මැද්දේ ඉන්න දෙන්නා ටික වේලාවක් එතන රැඳිලා පන්දුවට සහ තණතීරුවට හුරු වෙන එකයි....එතකොට ලකුණු ලබාගන්න පුළුවන්....ඒත් අලුතෙන් යන කෙනෙකුට ඒකට හුරුවෙන්න ටිකක් අමාරු වෙනවා...”

“ඒ නිසා අපි මේක ප්‍රවේසමෙන් ඉවර කරගන්න ඕනා...මේ තරගය දිනන්න කණ්ඩායමේ සේරම ක්‍රීඩකයන්ට පුදුම අවශ්‍යතාවක් තියෙනවා” යයිද රුමේෂ් රත්නායක මහතා පැවසීය.

තරගයේ තුන්වැනි දිනය වූ සිකුරාදා සවස ශ්‍රී ලංකා කඩුලු රකින්නා වූ නිරෝෂන් දික්වැල්ල මෙන්ම නවසීලන්ත ආරම්භක පිතිකරුවා වූ ටොම් ලෙතම් කීවේත් මෙම සිව්වැනි සහ පස්වැනි දිනවලදී තණතීරුවේදී පන්දුවට පහර දීම අසීරු විය හැකි බවත් ලකුණු සොයා යාම වඩාත් අසීරු අභියෝගයක් විය හැකි බවත්ය. එසේ වුවත් අද පෙරවරුවේදී හෝරා දෙකකට වැඩි කාලයක් නවසීලන්ත පිලේ අවසන් පිතිකරුවෝ තිදෙනා කඩුලු රැකගත්හ.

දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුවත් බී.ජේ. වොට්ලිං සහ විලියම් සමර්විල් දෙදෙනා කිසිදු අපහසුවකින් තොරව පන්දුවට මුහුණ දුන් නමුත් තරමක් පමා වී දෝලනය වූ ළහිරු කුමාරගේ පන්දුවක් නිරෝෂන් දික්වැල්ලගේ අත් ආවරණ අතරේ සැඟවීමට පෙර වොට්ලිංගේ පිත්තේ පිටත දාරය සොයාගත්තේය.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිතර වූ කඩුලු රකින්නා දැවී යන විට පැය 4 ක් පුරා පන්දු 173 කට මුහුණ දී තිබිණ.

වොට්ලිං දැවී ගිය නමුත් පසුබට නොවූ විලියම් සමර්විල් කණ්ඩායමේ අවසන් පිතිකරුවන් දෙදෙනා වූ ටේ‍රන්ට් බෝල්ට් සහ අජාස් පතෙල් සමග එක්ව තවත් ලකුණු 61 ක් පුවරුවට එක්කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් මහත් අසහනයට පත්කරමිනි. නවසීලන්ත දෙවැනි ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 98 දී බිඳ වැටුණ නමුත් අවසන් කඩුලු 5 ට ලකුණු 187 ක් එක්විය.

 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

දිමුත් - තිරිමාන්න අධිෂ්ඨානශීලී ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.