Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දික්වැල්ල - ධනුෂ්ක ආරම්භක පිතිකරු භූමිකාවට

දික්වැල්ල - ධනුෂ්ක ආරම්භක පිතිකරු භූමිකාවට

රොෂාන් ගුණරත්න - 2021 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය හෙට (3 වැනිදා) ඇන්ටිගුවා නුවරදී ආරම්භ වන්නේ කණ්ඩායම් දෙකම විස්සයි20 ලෝක කුසලානය සඳහා වන සූදානම කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගෙන ඇති බවට පැහැදිලි ලකුණක් තබමින්ය.

වසර කිහිපයක් විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකාව 2014 දී විස්සයි20 ලෝක කුසලානය දිනාගත්තද පසුව අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් වලින් පහතට වැටිණ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ  වනවිට ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානයේ පසුවන්නේය.

2012 සහ 2016 වසර වලදී විස්සයි20 ලෝක කුසලානය දිනා ගනිමින් විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් කුසලානය දිනාගෙන ඇති බටහිර ඉන්දීය කොදෙව් පිල මේ වනවිට ශ්‍රේණිගත කිරීම්හී 10 වැනි ස්ථානයේ පසුවන්නේය. නමුත් ශ්‍රේණිගත කිරීම් අතරේ 7 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ඇත්තේ ප්‍රසාද ලකුණු 4 ක සුළු පරතරයකි.

කොදෙව් කණ්ඩායමට එරෙහිව විස්සයි20 තරග 11 කට මුහුණදී ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 6 ක් ජයගෙන තරග 5 ක් පරාජයට පත්වී ඇත. මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් හිදී කිසිදු විස්සයි20 ජාත්‍යන්තර තරගයකට සහභාගිවී නොමැත.

ශ්‍රී ලංකාව අවසන් වරට විස්සයි20 තරගයකට ක්‍රීඩා කර වසරකට ආසන්න කාලයක් ගත වී තිබේ. එහිදී කොදෙව් පිලට එරෙහිව පල්ලේකැලේදී පැවැති තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්විය. එබැවින් ඇන්ටිගුවාහිදී පැවැත්වෙන මෙම තරඟ තුනේදීම වඩා හොඳ දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තුව සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවන් ලෙසින් යොදාගන්නා බවයි. දිනේෂ් චන්දිමාල් ඉදිරිපෙළ පිතිකරුවකු ලෙසින් සිටින අතර නායක ඇන්ජලෝ මැතිව්ස් පිතිකරු ලයිස්තුවේ අංක 4 හෝ 5 ස්ථානය බාරගැනීමට නියමිතය.

වඩාත් විවාදසම්පන්න තීරණය විය හැක්කේ 7 වැනි පිතිකරුවා වශයෙන් තෝරා ගන්නේ අෂේන් බණ්ඩාරද නැතහොත් කමිඳු මෙන්ඩිස්ද යන්නයි. කමිඳු මෙන්ඩිස් බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු  මෙන්ම හොඳ පන්දු යවන්නකු ද වෙයි. අශේන් බණ්ඩාර බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු මෙන්ම අති විශිෂ්ට පන්දු රකින්නෙකි.

“එයාට ලකුණු 20 ක් ගහලා 40 ක් නවත්වන්නත් පුළුවන්” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ අයෙක් අද සවස ලංකාදීපයට පැවසීය.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ මැදපෙළ පිතිකරු අෂේන් බන්ඩාර තවමත් විස්සයි20 ජාත්‍යන්තර වරම් හිමිකරගෙන නැති, නවකයන් ලෙස කණ්ඩායමට එක්වී සිටිති. 20 හැවිරිදි වේග පන්දු යවන්නා වන දිල්ෂාන් මධුෂංක සහ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් විස්සයි20 ජාත්‍යන්තර වරම් හිමිකර නොගත් පන්දු යවන්නන් ලෙස සංචිතයේ රැඳී සිටිති.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක කණ්ඩායමේ නොමැති හෙයින් ශ්‍රී ලංකාව තරමක් දුරට පසුබෑමට ලක්වුවද තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට වැඩි වැඩ කොටසක් කිරීමට සිදුවනු ඇත.

වසර දෙකකට ආසන්න කාලයකින් පසුය ප්‍රථම වතාවට ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ඇතුළත් කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක ෆිඩෙල් එඩ්වර්ඩ්ස් වසර නවයක විවේකයකින් පසු නැවත කණ්ඩායමට කැඳවා ඇත. ඔහු අවසන් වරට 2012 දී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කර ඇත.

ගේල් සහ එඩ්වර්ඩ්ස් යන දෙදෙනාට අමතරව ඔවුන්ට ඩ්වේන් බ්‍රාවෝ, කිරන් පොලාර්ඩ්, ජේසන් හෝල්ඩර් සහ ලෙන්ඩ්ල් සිමන්ස් යන ක්‍රීඩකයින්ගේ අත්දැකීම් සම්භාරයක් ඇති අතර නිකලස් පූරාන්, ෆෙබියන් ඇලන්, ඕබෙඩ් මැකෝයි සහ කෙවින් සින්ක්ලෙයාර් වැනි ආකර්ෂණීය තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා වලින් ඔවුන් පරිපූර්ණවී ඇත.

රොස්ටන් චේස්, ෂෙල්ඩන් කොට්ටේ‍රල්, ෂිම්රොන් හෙට්මියර් සහ ඔෂේන් තෝමස් යන ක්‍රීඩකයින් අවම යෝග්‍යතා ප්‍රමිතීන් කරා ළඟා වීමට අපොහොසත් වීම හේතුවෙන් විස්සයි20 සංචිතයට එක්කර නොගත් බව බටහිර ඉන්දීය කොදෙව්හී තේරීම් කමිටු ප්‍රධානී රොජර් හාපර් මහතා පැවසීය. සුනිල් නරේන් විස්සයි20 සංචිතය සඳහා යෝජනා කර තිබුනද ඔහු ජාත්‍යන්තර තරගාවලියක් සඳහා එක්වීමට සූදානම් නැති බවද පැවසීය.

ශ්‍රී ලංකා - කොදෙව් විස්සයි-20 තරගාවලියේ තරග ශ්‍රී ලංකාවේ වේලාවෙන් අනිද්දා (4 වැනිදා) අලුයම 3.30 ට ආරම්භවීමට නියමිතව ඇත.


ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, වනිඳු හසරංග, නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඕෂධ ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, ඩිල්ශාන් මදුශංක, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, තිසර පෙරේරා සහ ලක්ෂාන් සඳකැන්.

කොදෙව් විස්සයි20 සංචිතය
කිරන් පොලාර්ඩ් (නායක), නිකලස් පූරන් (උප නායක), ෆේබියන් ඇලන්, ඩ්වේන් බ්‍රාවෝ, ෆිඩෙල් එඩ්වඩ්ස්, ඔන්ඩි්‍ර ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, අකීල් හොසේන්, එවින් ලුවිස්, ඔබේඩ් මැකෝයි, රෝමන් පවෙල්, ලෙන්ඩ්ල් සිමන්ස් සහ කෙවින් සින්ක්ලෙයාර්.


අදහස් (0)

දික්වැල්ල - ධනුෂ්ක ආරම්භක පිතිකරු භූමිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.