Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඹුල්ල පිල තුන්වැනි ජය ලබයි

දඹුල්ල පිල තුන්වැනි ජය ලබයි

යොහාන් භාසුර - 2020 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (03) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල වයිකිංස් පිල කඩුලු පහකින් මහනුවර ටස්කර්ස් පිල පරාජය කළේය.

මෙය දඹුල්ල පිල තරග හතරකදී ලැබූ තෙවැනි ජය වන අතර දඹුල්ල පිල ප්‍රසාද ලකුණු හයක් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයට ද පැමිණියේය.

දඹුල්ල පිතිකරුවෝ ලකුණු 157 ක ඉලක්කය ඕවර 19.2 කදී කඩුලු පහක් පමණක් දැවී සම්පූර්ණ කළහ.

දසුන් ශානක නැවතත් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 23 කින් ලකුණු 33 ක් රැස්කිරීමට සමත් විය.

ඇන්ජලෝ පෙරේරා ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වෙමින් ලකුණු 67 ක් රැස් කළ අතර එයට හතරේ පහර පහක් සහ හයේ පහර තුනක් ඇතුළත් විය.

ඇන්ජලෝ සහ දසුන් සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 79 ක සම්බන්ධතාවයෙන් ජයග්‍රහණය පහසු විය. 

උපුල් තරංග (19) සහ සමිට් පටෙල් (11) විශාල ඉනිම ගොඩනැගීමට පෙර දවාගැනීම මහනුවර පිලට හැකිවිය.

දඹුල්ල පිලේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල (4) තෙවැනි පන්දුවේදී දැවී ගියේය.

පළමුව පන්දුවට පහර දුන් මහනුවර පිලේ කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 55 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

මාලින්ද පුෂ්පකුමාර යැවූ ඉනිමේ 17 වැනි ඕවරයේ පළමු සහ දෙවැනි පන්දුවලදී බ්‍රෙන්ඩන් ටේලර් (13) සහ ප්‍රවේගකාරී පිතිකරු සීකුගේ ප්‍රසන්න (0) දවාගැනීමෙන් මහනුවර ඉනිම තව දුරටත් මන්දගාමී විය.

යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ඉනිමේ 12 වැනි ඕවරය දක්වා සිය ඕවර හතර ලකුණු 21 කට අවසන් කිරීමෙන් මහනුවර පිලේ ලකුණු රැස්කිරීමේ වේගය අඩාල විය. රමේෂ් සිය අවසන් ඕවරයේදී කුසල් පෙරේරා දවාගැනීමට ද සමත් විය.

නායක කුසල් පෙරේරාට සිය සුපුරුදු වේගවත් පිතිහරඹයට අවතීරණ වීමට නොහැකි වීමෙන් පන්දු 34 කින් ලකුණු 41 ක් පමණක් රැස් කළේය.

කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට පන්දු 45 කින් ලකුණු 58 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

රහමනුල්ලා ගුර්බාෂ් පන්දු 10 කින් ලකුණු 15 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

මහනුවර පිලේ නායක කුසල් පෙරේරා කාසියේ වාසිය ලබා පළමුව ලකුණු රැස්කිරීම තෝරාගත්තේය.

දඹුල්ල පිලට විදේශ ක්‍රීඩකයන් ලෙස සමිට් පටෙල්, අන්වර් අලී සහ සමිනුල්ලා ශින්වාරි යන තිදෙනා පමණක් ඇතුළත්ව සිටියහ. මහනුවර පිලට බ්‍රෙන්ඩන් ටේලර්, රහමනුල්ලා ගුර්බාෂ්, නවීඞ් උල් හක්, මුනාෆ් පටෙල් යන විදේශ ක්‍රීඩකයෝ ක්‍රීඩා කළහ. 

තරගාවලියේ හත්වැනි දිනය වන අද (04) කොළඹ සහ යාපනය අතර තරගය රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතය.

මහනුවර ටස්කර්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 156
(රහමනුල්ලා ගුර්බාෂ් 15, කුසල් පෙරේරා 41, කුසල් මෙන්ඩිස් 55, බ්‍රෙන්ඩන් ටේලර් 13, අසේල ගුණරත්න නොදැවී 18, කසුන් රාජිත 16/2, රමේෂ් මෙන්ඩිස් 21/1, මාලින්ද පුෂ්පකුමාර 28/2, සමිට් පටෙල් 18/1)

දඹුල්ල වයිකිංස් පිල ඕවර 19.2 කදී කඩුලු 5 ට 157
(උපුල් තරංග 19, ඇන්ජලෝ පෙරේරා 67, සමිට් පටෙල් 11, දසුන් ශානක 33, සමිනුල්ලා ශින්වාරි නොදැවී 11, මුනාෆ් පටෙල් 20/1, ඩිල්රුවන් පෙරේරා 23/1, අසේල ගුණරත්න 27/1, සීකුගේ ප්‍රසන්න 36/1, නුවන් ප්‍රදීප් 16/1
 
 


අදහස් (0)

දඹුල්ල පිල තුන්වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.