Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඟ පන්දු යවන්නෝ කොදෙව්වන් අන්ද මන්ද කරති

දඟ පන්දු යවන්නෝ කොදෙව්වන් අන්ද මන්ද කරති

editorial - 2021 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

(සැකසුම - දමින්ද විජේසූරිය)

විස්සයි-20 ලෝක ශූරතාවට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව්වන් අන්ද මන්ද කළ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ ඇන්ටිගුවාහිදී ඊයේ (5 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලකුණු 43 ක ජයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ. මෙම ජයග්‍රහණයත් සමගින් පිට පිටම විස්සයි-20 තරග 8 කදී ලබා තිබූ පරාජයන් වැලකට නැවතීමේ තිත තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයකදී වසර 5 කට පසුව ලබාගත් ජයග්‍රහණය මෙයයි. එලෙසින්ම වසර එක හමාරකට පසුව ශ්‍රී ලංකා පිල ලබාගත් පළමු විස්සයි-20 ජයග්‍රහණයද මෙය වෙයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් ලබාගත්තේය. එහෙත් කොදෙව් පිලට ඕවර 18.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 117 ක් පමණි.

කොදෙව් පිතිකරුවන් මුළා කරමින් පන්දු යැවූ වනිඳු හසරංග ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගයේ විරයා සම්මානය තමන් සතු කරගත්තේය. පළමු තරගයේදී කොදෙව් නායක කිරන් පොලාර්ඩ්ගෙන් එකම ඕවරයේදී හයේ පහර 6 කින් දඬුවම් විඳි අකිල ධනංජය ඊයේ තරගයේදී සිය පන්දු 24 දීම කොදෙව්වන්ට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 13 ක් පමණි. ඊයේ තරගය සඳහා කැඳවූ චයිනමන් පන්දු යවන්නා වන ලක්ෂාන් සඳකැන් සිය ඕවර 4 දී කොදෙව් පිතිකරුවන් ලකුණු 10 කට සිරකරමින් කඩුලු 3 ක් දවාගත්තේ සිය මව්බිමේදී වුවද කොදෙව්වන් දඟ පන්දුව හමුවේ අමාරුවේ වැටෙන බව කදිමට පෙන්නුම් කරමිනි.

“මේ තණතීරුව තරමක් මන්දගාමීයි.... මම උත්සාහ කළේ පිතිකරුවන්ට හතරේ හෝ හයේ පහර ගහන්න නොදී තියාගන්නයි... මට ඒ තරම් හොඳට පන්දු යවන්න පුළුවන් වුණේ ඒ නිසයි”යයි තරගයේ වීරයා වූ වනිඳු හසරංග පැවසීය.  

තරගයේ 6 වැනි ඕවරය නිමා වන විට කොදෙව් පිල කඩුල්ලක් පමණක් දැවී ලකුණු 45 ක් ලබා සිටියේය. ඊළඟ පන්දුවේදී කිස් ගෙල් දැවී යාමත් සමගින් ලකුණු 21 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳ වැටිණ. වසර දෙකකට පසුව කොදෙව් පිල නියෝජනය කරන ක්‍රිස් ගේල් පළමු තරගයේදී ලකුණු නොලබා දැවීගිය අතර ඊයේ තරගයේදීත් ඔහු ලබාගත්තේ ලකුණු 16 ක් පමණි.

හසරංගගේ ගුග්ලි පන්දුව වටහා නොගැනීම කොදෙව් පිතිකරුවන්ගේ දුර්වලම ලක්ෂණය විය. ක්‍රිස් ගේල්ගේ ඉනිම නිමා කළ අෂේන් බණ්ඩාරගේ උඩපන්දුවෙන් පසු, ආරම්භක පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් දැවීගියේ හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමට හසුවිමෙනි. ඒ සමගම වාගේ නිකලස් පූරන්, ජේසන් හෝල්ඩර් සහ ඩ්වේන් බ්‍රාවෝද ඉතාමත් ඉක්මනින් දැවී ගියහ.

වරෙක කඩුල්ලක් දැවී 45 ක් ලෙසින් සටහන් වූ ලකුණු පුවරුව ඕවර 4 කින් පසුව කඩුලු 6 ක් දැවී 66 ක් ලෙසින් සටහන් විය. තරගය නිමා වීමට ඕවර 4 ක් පමණ තිබියදී හත්වැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් ජයග්‍රහණය සඳහා පන්දු 28 කින් තවත් ලකුණු 72 ක් අවශ්‍යව තිබිණ.

පළමු තරගයේදී එකම ඕවරයේදී හයේ පහර 6 කින් අකිල ධනංජයට සංග්‍රහ කළ කිරන් පොලාර්ඩ් ඊයේ තරගයේදී හත්වැනි පිතිකරුවා වශයෙන් පිටයට පිවිසීම තරමක් විමතිය දනවන්නක් විය. එහෙත් හතරේ සීමාව අසළ සිටි දිනේෂ් චන්දිමාල් විසින්, පොලාර්ඩ්ගේ උඩපන්දුව ඉතා දක්ෂ අයුරින් රැකගන්නා විට පන්දු 15 කට මුහුණ දී සිටි කොදෙව් නායකයා ලබා සිටියේ ලකුණු 13 ක් පමණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කිරීමත් සමගම ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක දෙදෙනාගෙන් ඉතාමත් සාර්ථකත ආරම්භයක් ලැබිණ. ගුණතිලක සහ නිස්සංක දෙදෙනා ඕවර 10 ක් ඇතුළතදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.

මේ වන විටත් 37 හැවිරිදි වියේ සිටින ඩ්වේන් බ්‍රාවෝ විසින් පැතුම් නිස්සංක දුවද්දී දවා නොගත්තේ නම් එම සම්බන්ධතාව තවත් දුර යන්නට තිබිණ. කෙසේ වෙතත් ඉතිරි ඕවර 10 දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 65 ක් පමණි. ඒ අතරවාරයේදී කඩුලු 6 ක් ඇද වැටිණ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගැනීම මෙම තරගයේදී සුවිශේෂී තීරණයක් විය. පළමු කඩුල්ල බිඳ වැටෙන තුරුත් 153.22 ක්ව පැවැති පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක වේගය, පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසුව 102.24 දක්වා අඩුවී ගියේය. ශ්‍රී ලංකා පිතිකරුවන් වුවද පළමු ඕවර 10 දී 4 පහර 8 ක් සහ හයේ පහර 3 ක් ගැසූ නමුත් ඉතිරි ඕවර 10 දීම ඔවුන් හතරේ සීමාව පසුකර ගියේ හතර වතාවක් පමණි. ඒ අතර පන්දුව හතරේ සීමාව හරහා නොගිය ඕවර 8 ක් එක දිගට යැවිණ.

තරගාවලියේ තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගය හෙට (7 වැනිදා - ඉරිදා) පැවැත් වේ.


අදහස් (1)

දඟ පන්දු යවන්නෝ කොදෙව්වන් අන්ද මන්ද කරති
  • larry Saturday, 06 March 2021 10:14 AM

    මැතිව්ස්... සුබපැතුම්..!!! 

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.