Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකාව ලකුණු 87 කින් ශ්‍රී ලංකාව පරදවයි

දකුණු අප්‍රිකාව ලකුණු 87 කින් ශ්‍රී ලංකාව පරදවයි

editorial - 2019 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (24 වැනිදා) කාඩිෆ්හිදී පැවැති තරගයෙන් ලකුණු 87 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 339 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 42.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 251 ක් පමණි. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක දිමුත් කරුණාරත්න පන්දු 92 කදී හතරේ පහර 12 ක් සමග ලකුණු 87 ක් රැස්කළේය.

මුල් කඩුලු 2 ලකුණු 10 තුළ බිඳවැටුණද, කුසල් මෙන්ඩිස් (37) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් සහ ඇන්ජලෝ මැතිව්ස් (64) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් පැවැත්වූ දිමුත්, කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේය.

පන්දු 31 කදී වාර්තා වූ කුසල් මෙන්ඩිස්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දු 66 කට මුහුණදුන් මැතිව්ස් හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. ජීවන් මෙන්ඩිස් පන්දු 12 කදී ලකුණු 18 ක් රැස්කලේ හතරේ පහර 3 ක් සමගිනි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇන්ඩිල් පෙලුක්වායෝ ඕවර 7 ක් යවමින් ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගත්තේය. නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 6 ක් යවමින් ලකුණු 12 කට කඩුලු 2 ක් දවාගත් ලුංගි න්ගිඞ්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා පෙලුක්වායෝට අනගි සහායක් දුන්නේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 338 ක් ලබාගත්තේය. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ෆෆ් ඩුප්ලෙසි පන්දු 69 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 88 ක් රැස්කළේය.

හෂීම් අම්ලා (65) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 105 කදී ලකුණු 128 ක සම්බන්ධතවක් ගොඩනැගීමටද සමත් විය. ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා අම්ලාගේ ඉනිම නිමාවට පත් වූ අතර දැවීයන විට පන්දු 61 කට මුහුණදී සිටි ඔහු සිය අර්ධ ශතකය හතරේ පහර 9 කින් සරසා තිබිණ.

අම්ලාගේ දැවී යෑමෙන් පසු දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවට එක් ලකුණක් හෝ එක්වීමට පෙර ඩුප්ලෙසීද පිටියෙන් ඉවත් කිරීමට ධනංජය ද සිල්වා සමත් වූයේ සුරංග ලක්මාල්ගේ සහායද ඇතිවය.

ඉන් අනතුරුව පිටියට පිවිසි ඬේවිඞ් මිලර්ට (5) වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉසුරු උදාන ඉඩක් ලබා නොදුන් අතර සිවුවැනි පිතිකරුවා වූ රාසි වැන්ඩර් ඩුසේන් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 40 ක් රැස්කළේය.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ක්‍රිස් මොරිස් පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 26 ක්ද, ඞ්වේන් ප්‍රිටෝරියස් පන්දු 23 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 25 ක්ද රැස්කරමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.

 

 

-036

 


අදහස් (0)

දකුණු අප්‍රිකාව ලකුණු 87 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.