Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිසරගේ ප්‍රවේගකාරී පිතිහරඹය යාපනයට ‍ජය ගෙනෙයි

තිසරගේ ප්‍රවේගකාරී පිතිහරඹය යාපනයට ‍ජය ගෙනෙයි

ශානුක අරවින්ද - 2020 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිසර පෙරේරාගේ ප්‍රහාරාත්මක පිතිහරඹය ‍‍හේතුවෙන් දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට එරෙහිව අද (30 වැනිදා) පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි තරගයෙන් ලකුණු 66 ක පහසු ජයක් වාර්තා කිරීමට යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා සහභාගි වූ තරග දෙකම ජයගෙන සිටින යාපනය කණ්ඩායම, මේ වන විට ලකුණු 4 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.

ජයග්‍රහණය කරා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට උස්මාන් ෂින්වරි ප්‍රමුඛ යාපනය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි. දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සමීට් පටේල් පන්දු 22 කදී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගිනි. නායක දසුන් ශානක පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ උස්මාන් ෂින්වරි සිය ඕවර 4 ලකුණු 16 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය. නායක තිසර පෙරේරා ලකුණු 23 කට කඩුලු 2 ක්ද, බිනුර ප්‍රනාන්දු ලකුණු 41 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ෂින්වරිට අනගි සහායක් ලබාදුන්හ.

පළමු‍වෙන් පන්දුවට පහරදුන් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 218 ක් ලබාගත්තේය. එහිදී ‍ හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි තිසර, අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වෙමින් පන්දු 44 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 97 ක් රැස්කළේය. තිසරගේ ඉනිම මෙම තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලදී ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය.

ළහිරු කු‍මාර විසින් යවන ලද යාපන‍ය ඉනිමේ 19 වැනි ඕවරයේදී පිට පිටම ගැසූ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කළ තිසර, සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. එය මේ දක්වා ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඕවරයක් තුළ ක්‍රීඩකයෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද විය.

ලකුණු 64 කට කඩුලු 5 ක් බිඳවැටී අඩපණ වී තිබූ යාපනය ඉනිම සවිමත් කළ තිසර, හයවැනි කඩුල්ල වෙනුවෙන් චතුරංග ද සිල්වා (29) සමග එක්ව ලකුණු 51 ක්ද, හත්වැනි කඩුල්ල වෙනුවෙන් වනිඳු හසරංග (24) සමග එක්ව ලකුණු 55 ක්ද, අටවැනි කඩුල්ල වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු (නොදැවී 8) සමග එක්ව ලකුණු 48 ක්ද එක් කළේය.

පන්දු 10 කට මුහුණදුන් වනිඳු හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සරසද්දී, පන්දු 24 කට මුහුණදුන් ඔහුගේ වැඩිමල් සොහොයුරු චතුරංග සිය ඉනිමට හයේ පහර 2 ක් අන්තර්ගත කළේය. ෂොයිබ් මලික් පන්දු 13 කදී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

 

යාපනය ස්ටැලියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 218
(ධනංජය ද සිල්වා 16, ෂොයිබ් මලික් 23, චතුරංග ද සිල්වා 29, තිසර පෙරේරා නොදැවී 97, වනිඳු හසරංග 24, සමීට් පටේල් 26/2)


දඹුල්ල වයිකින්ස් පිල - ඕවර ‍19.1 කදී සියලු දෙනා දැවී 152  
(නිරෝෂන් දික්වැල්ල 20, උපුල් තරංග 15, සමීට් පටේල් 41, දසුන් ශානක 35, අන්වර් අලී 21, උස්මාන් ෂින්වරි 16/3, තිසර පෙරේරා 23/2, බිනුර ප්‍රනාන්දු 41/2)

 

 

 


අදහස් (0)

තිසරගේ ප්‍රවේගකාරී පිතිහරඹය යාපනයට ‍ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.