Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිලංගට එරෙහිව තියෙන චෝදනා බරපතළයි

තිලංගට එරෙහිව තියෙන චෝදනා බරපතළයි

යොහාන් භාසුර - 2019 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් තිලංග සුමතිපාල මහතාට එරෙහිව එල්ල කර තිබූ චෝදනා බරපතල වූ නිසා ඒ මහතා විධායක කමිටුව නියෝජනය කිරීම තහනම් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය. කොළඹ ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති විශේෂ පුවත් පත් සාකච්ඡාවකදී ඇමතිවරයා ඒ බව පැවසීය.

ක්‍රිකට් පරිපාලනය පිළිබඳව වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිළි කිරීම සඳහා මෙම විශේෂ මාධ්‍ය හමුව ක්‍රීඩා අමාත්‍යංශයේදී අද පස්වරුවේ පැවැත්විණි.

එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම තහනම් කිරීමට පසුබිම් වූ කරුණු මෙසේ පැහැදිළි කළේය.

“අන්තර්ජාතික ක්‍රිකට් සභාව සුමතිපාල මහතා සම්බන්ධයෙන් කරලා තිබුණා. එහි බොහෝ කරුණු දරුණු ඒවා හැටියටයි අපි දැක්කේ. අපි නීතියට අනුව කටයුතු කළා”

“මම සුමතිපාල මහතාට උත්තර දෙන්න සූදානම් නෑ. මම වැඩ කරන විදියක් තියෙනවා. මම වැඩ කරන්නේ නීති රාමුවක් යටතේයි. මම ගණුදෙණු කරන්නෙ ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති සහ ලේකම් සමඟයි”
“සුමතිපාල මහත්මයා විධායක කමිටුව නියෝජනය කළේ ආසන්තම සභාපතිවරයා ලෙසයි. එම පුරප්පාඩුවට හරි ක්‍රමවේදයට අනුව වෙනත් කෙනෙකු පත්කිරීම කළ යුතුයි. මම කාවවත් පත්කරලා නෑ”

“සුමතිපාල මහතා විධායක කමිටුව නියෝජන කිරීම පිළිබඳව විවේචන එල්ල වුණා. ඒ මහතා එතන්ට ඇවිත් අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳව වගකීම අතට ගත්තා. ඒක විශාල ප්‍රශ්නයක් වුණා. ඒක සදාචාර විරෝධී යැයි පැමිණිලි ලැබුණා. ඒ අනුව මම කටයුතු කළේ. නැතුව මට එතුමාත් සමඟ කිසිඳු පෞද්ගලික ප්‍රශ්නයක් නෑ”
“අන්තර්ජාතික ක්‍රිකට් සභාව අපිට දුන්න ලිපිය මම කාටවත් දුන්නේ නෑ. අඩුම ගානේ මම පිටපතක්වත් තියාගත්තේ නෑ. මම හරි දේ කරලා බැනුම් අහනවා. ඒක ප්‍රශ්නයක් නෑ”

“මට සුමතිපාල මහතා ආරක්‍ෂා කිරීමේ කිසිම අවශ්‍යතාවක් නෑ. නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව අපිට එවපු ලිපිය ප්‍රසිද්ධ කරලා අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ අපි අතර තියෙන ගෞරවණීය සම්බන්ධතාව විනාශකරගැනීමේ උවමනාවක් මට නෑ”

“තිලංග සුමතිපාල මහත්මයට අසාධාරණයක් වෙලා තියෙනවා නම් උසාවියට යන්න පුළුවන්. එහිදී එතුමාට කරුණු දක්වන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපිට අන්තර්ජාතික ක්‍රිකට් සභාව එවපු ලියවිල්ල උසාවියට ඉදිපත් කරන්න පුළුවන්”

“සුමතිපාල මහතා පිළිබඳ තහනම ක්‍රිකට් ආයතනයට දන්වන අවස්ථාවේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව යොමු කළ ලිපියේ පිටපත් යැව්වා. එය යැව්වේ තහනම් කළේ ඇයි කියලා ක්‍රිකට් ආයතනයට කරුණක් ලෙසයි” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

 මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ නීති උපදේශක නීතිඥා පණ්ඩුක කීර්තිනන්ද මහතා සුමතිපාල මහතා සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය මෙසේ පැහැදිළි කළේය.
 
“අපි ක්‍රීඩා පනතේ සංශෝධන කීපයක් කළා. ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට කිසියම් පුද්ගලයකු හෝ ඔහුගේ ළඟම ඥාාතියකු ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධයි නම් ඔහුට ක්‍රීඩා සංගම්වල නිලතල දැරිය නොහැකියි”
“ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සෘජුව සහ වක්‍රව ලෙස ක්‍රීඩා නීතියේ තිබුණා. නමුත් එය පැහැදිළිව තිබුණේ නෑ. අපි සංශෝධනයෙක් කළේ පැහැදිළි කිරීමයි”  

“ඒ සම්බන්ධ රෙගුලාසි 2019 අගෝස්තු මස 23 වැනිදා සංශෝධන කළා. මෙහිදී අපි අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයේ නිර්දේශ අනුව තමයි තහනම පැනවුවේ”

“ක්‍රීඩාවේ දූෂණ වලක්වන්න පනතක් ගෙනාවා. එය නොවැම්බර් 5 සහ 6 දෙදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉන් පසුව එය නීතියක් බවට පත්වෙනවා”

මෙම පනත පිළිබඳව කරුණු දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ක්‍රීඩාවට ආදරේ කවුරුන් ද යන්න පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කළ පසු බලාගතහැකි බවයි.

 

 


අදහස් (0)

තිලංගට එරෙහිව තියෙන චෝදනා බරපතළයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.