Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරගය තනි අතින් ගැනීම

තරගය තනි අතින් ගැනීම

editorial - 2020 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට)

සැබෑ තුන් ඉරියව් ක්‍රීඩකයෝ බොහෝ දුර්ලභය. එබැවින්ම ඔවුන්ගේ වටිනාකමද ඉහළය. තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ වටිනාකම් ඉහළ යන්නේ කණ්ඩායමක් තීරණාත්මක අඩවියක සිරවී සිටින විටය.

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී මෙන්ම කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය පුරාම ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම වනිඳු හසරංග සහ තිසර පෙරේරාත් පෙන්වා දුන්නේ කණ්ඩායමක් ජයග්‍රහණය කරා කැඳවගෙන යාමේදී තුන් ඉරියව් ක්‍රීඩකයකු සතු අමිල වටිනාකමයි.

පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට එක්ව සිටින නමුත් මැතිව්ස් තරගාවලිය පුරාම පිතිකරුවකු ලෙසින් අසාර්ථක විය. එහෙත් පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමෙන්ද අපේක්‍ෂා නොකළ තරමේ දායකත්වයක් දැක්වූ මැතිව්ස්ගෙන් කණ්ඩායමේ සාර්ථකත්වයටලැබුණේ කදිම පිටිවහලකි.

වනිඳු හසරංග කණ්ඩායමට එක්වූයේ පන්දු යවන්නකු ලෙසිනි. එහෙත් එස්.එස්.සී. පිටියේදී වනිඳු හසරංග පිත්තෙන් දැක්වූ දායකත්වය 3-0 ක තරගාවලි ජයක් සඳහා කණ්ඩායමට විශ්වාසනීයත්වය එන්නත් කළේය. මේ දෙදෙනාම සිය හපන්කම් ප්‍රදර්ශනය කළේ ඕනෑම ක්‍රීඩකයකු පීඩනයේ අන්ත්‍යන්ත කෙළවරට පිවිසෙන අවසන් ඕවර 10 දී වීම මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේම සුවිශේෂී හැකියාවයි. සටන්කාමීත්වයේ සංකේතයයි.

එස්.එස්.සී. තරගයේදී ඕවර 45 ක් අවසන් වන විට කෙදෙව්වන් ලබා සිටියේ ලකුණු 230 ක් පමණි. එහෙත් අවසන් ඕවර 5 දී ලකුණු 59 ක් උදුරාගත් කොදෙව්වෝ ලකුණු 289 ක් පුවරුවට එකතු කිරීමෙන් පසුව ලැබුණේ ඉහළ ඉලක්කයකි. එම ඉලක්කය කරා යාමේදී හත්වැනි කඩුල්ලත් (තිසර පෙරේරා) ලකුණු 253 දී දැවී ගියේය. පිටියේ ඉතිරි වූ හසරංග, අවසන් පිතිකරුවන් තිදෙනා වූ ඉසුරු උදාන (0), ලක්ෂාන් සඳකැන් (3) සහ නුවන් ප්‍රදීප් (0) තිදෙනාම ලකුණු 3 ක් පමණක් ලබාගනින්දී තනිවම ලකුණු 28 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

එස්. එස්.සී. ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වූයේ හසරංගගේ ලකුණු 42 වූ හෙයින් ඔහු අවිවාදයෙන් තරගයේ වීරයා ද වූයේය.

“අපේ සාර්ථකත්වයේ හැරුම්ලක්‍ෂය වුණේ එස්.එස්.සී පිටියේදී අපි කළ ලකුණු හඹායාම වගේම වනිඳුගේ පිතිහරඹයයි.”

“වනිඳු හසරංග ඒ ලබාදුන් ජයග්‍රහණයෙන් තමයි අපේ කණ්ඩායමට විශ්වාසනීයත්වය ලැබුණේ.....ඊට පස්සේ සියලුම පිතිකරුවන්ට, පන්දු යවන්නන්ට වගේම පන්දු රකින්නන්ටත් විශ්වාසනීයත්වය ලැබුණා.  එතැන ඉඳන් අපි කොදෙව්වන්ට ඔලුව උස්සන්න දුන්නේ නෑ..... විශේෂයෙන්ම පිතිකරුවන් අවශ්‍ය තරමට ලකුණු පුවරුවට එකතු කරලා දුන්නා... එතැන ඉඳන් පන්දු යවන්නන්ටත් තමන්ගේ කාර්යය පහසු වුණා” යයි ඇන්ජලෝ මැතිව්ස් පල්ලෙකැළේදී තරගය නිමාවීමෙන් පසුව පැවසීය.

මැතිව්ස් එසේ කීවේ තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගැනීමෙන් පසුවය.

හම්බන්තොටදී පැවැති තරගයේදීත් හතරේ පහර 3 ක් සමගින් පන්දු 10 කින් ලකුණු 17 ක් උදුරාගත් මෙම හුරුබුහුටි දකුණත් පිතිකරුවා සිය ඕවර 10 දී ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. පිතිකරුවකු ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් හම්බන්තොටදීත් අසාර්ථක වූ නමුත් කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියන් පිටමං කළේ අගනා පන්දු යැවීමක මෙන්ම පන්දු රැකීමකද නිරත වෙමිනි. පසුව නිකලස් පූරන් දවාගැනීමට ඩීප් මිඞ් විකට් හි සිටි මැතිව්ස් රැකගත් උඩපන්දුව රුහුණේ ක්‍රිකට් ලෝලීන්ට කලකට අමතක නොවන එකකි.

පල්ලෙකැළේදීත් හසරංග මෙන්ම මැතිව්ස් අති විශිෂ්ට දස්කම් පෙන්වූහ. පන්දු 9 කින් ලකුණු 16 ක් සොරාගත් හසරංග ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරයේදී ජේසන් හෝල්ඩර්ට ගැසූ හයේ පහර ක්‍රිකට් පොතට එක්වූ අලුත්ම නිර්මාණයක් විය. පිට ඉන්නෙන් ඉවතට පැමිණ ස්ථානගත වූ හසරංග පන්දුව මිඩි විකට් කලාපයට ඉහළින් නරඹන්නන් අතරට යැවූයේ හෝල්ඩර්ට සිතාගැනීමටවත් කාලයක් ඉතිරි නොකරමිනි.

කොදෙව් ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 10 දී ලකුණු 89 ක් ලබාගත යුතුව තිබූ නමුත් හසරංග මෙන්ම මැතිව්ස් එක්ව යැවූ ඕවර 5 දී කොදෙව්වන්ට ලබාගත හැකිවූයේ ලකුණු 32 ක් පමණි. ගුග්ලි පන්දුව හමුවේ උතුර - දකුණ සොයාගත නොහැකිව අසරණ වූ කරන් පොලාර්ඞ් 42 සහ 44 වැනි ඕවර වලදී හසරංගගේ පන්දු 9 කින් ලබාගතතේ ලකුණු 2 ක් පමණි.

මේ අතරවාරයේදී තරගයේ පාලනය සහමුලින්ම සියතට ගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 29 ක් ඇතුළත කඩුලු 4 ක් දවාගත්තේ ලකුණු 81 කට කඩුලු 7 ක් බිඳ වැටීමේ ආරම්භකයා වෙමිනි. තරගාවලිය පුරාම සාර්ථක වූ තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිසර පෙරේරා පල්ලෙකැළේදී පන්දු 31 කින් ලකුණු 38 ක් ලබාගත්තාට අමතරව කඩුලු දවා නොගත් නමුත් අවසන් ඕවරයට පෙර ඕවරයේදී දුවද්දී දවාගැනීම් දෙකකටම සම්මාදම් වූයේය.

පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට එක්ව සිටින ධනංජය ද සිල්වා පන්දු 47 කින් ලබාගත් අර්ධ ශතකයට අමතරව තමන් විසින් යවන ලද ඕවර 5 දී කොදෙව් පිතිකරුවන්ගේ ලකුණු රැස්කිරීම 13 කට සීමාකරගත්තේය.

දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, මෙන්ම ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප් හෝ වෙනත් පන්දු යවන්නකු කිසියම් සුවිශේෂී යමක් කරන්නට පුළුවන. එහෙත් ඔවන්ගේ දස්කම් වලට නිසි වටිනාකම් දෙන්නට නම් තුන් ඉරියව් ක්‍රීඩකයන් සාර්ථක වීම අත්‍යවශ්‍ය සාධකයකි. පිත්තෙන් නැතිනම් පන්දුවෙන්.... ඒ දෙකින්ම නැතිනම් පන්දු රැකීමෙන් හෝ ඇතැම් විට අංශ තුනෙන්ම ඔව්හු තමන්ගේ කොටස කරති. පසුගිය වසර දෙකක පමණ කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නොතිබූ සහනය එයයි.

ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරගයකදී සිය ඕවර 10 සම්පූර්ණ කළේ වසර හතර හමාරකට පසුවය.

“මට ඕවර 10 ම යවන්න පුළුවන් වුණ එක ගැන ගොඩාක් සතුටුයි. පහුගිය මාස 5 ක 6 ක කාලයේදී මම මගේ අභ්‍යාසක එක්ක ගොඩාක් මහන්සි වෙලා කටයුතු කරලා මගේ බර අඩුකර ගත්තා. ඊට පස්සේ තමයි මම පන්දු යවන්න ගත්තේ...” යයි කී මැතිව්ස්....

“ඒ කොහොම වුණත්, ඇත්තම කියනවා නම් මම මා ගැන තෘප්තිමත් නෑ.. මොකද මම මේ කණ්ඩායමට එකතු වෙලා ඉන්නේ පිතිකරුවෙක් හැටියටයි. ඒත් මේ තරගාවලිය පුරාම මම පිතිකරුවෙක් හැටියට අසාර්ථක වුණා... පිතිකරුවෙක් හැටියට මගෙන් කණ්ඩායමට මීට වඩා දෙයක් ලැබෙන්න ඕනා” යයිද හිටපු නායකයා පල්ලෙකැළේදී පැවසීය.

ක්‍රීඩකයකු පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයක සිටින අයකු වඩාත් සාර්ථක වෘත්තිකයකු කරන්නේ ඔවුන් තම තමන් කෙරහිම ඇතිකරගන්නා අතෘප්තිකර හැඟීමයි. වැඩි වැඩියෙන් යමක් කළ යුතු යයි ඇතිකරගන්නා අභිලාෂයයි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (1)

තරගය තනි අතින් ගැනීම
  • sam Tuesday, 03 March 2020 04:09 AM

    මැතිව්ස් තමා මැච් කන්නේ.....

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.