Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරංග පරණවිතාන ක්‍රිකට් පිටියෙන් සමුගනී

තරංග පරණවිතාන ක්‍රිකට් පිටියෙන් සමුගනී

editorial - 2020 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. ටෙස්ට් තරග 32 කට සහභාගි වී ඇති ඔහු සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරන විට ටෙස්ට් ලකුණු 1792 ක් ලබා සිටියේය.  ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 32.58 කි.

වසර 2007-2008 තරග වාරයේදී ද්විත්ව ශතකයක්ද සමග ලකුණු 893 ක් රැස්කරමින් තමා නියෝජනය කළ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා දීමත් සමග මෙම වමත් පිතිකරුවාට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දොරටු විවර විය. 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වූ පාකිස්තාන සංචාරය පරණවිතානගේ මංගල ටෙස්ට් සංචාරය විය.

කරච්චිහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් ඔහු, ලාහෝර්හිදී ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ ක්‍රීඩකයන් කිහිපදෙනා අතරටද ඇතුළත් විය.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ පරණවිතාන ලබාගෙන ඇති ශතක දෙකම ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලියක පිට පිට තරග දෙකකදී ලබාගත් ශතක විය. 2010 වසරේ ජූලි මස ගාල්ලේදී (111) සහ කොළඹදී (100) ඔහු එම ශතක ලබාගෙන තිබිණ. ඔහුගේ ටෙස්ට් ඉනිම් අතරට අර්ධ ශතක 11 ක්ද අන්තර්ගත විය.

2012 වසරේ නොවැම්බර් මස නවසීලන්තයට එරෙහිව කොළඹදී පැවැති ටෙස්ට් තරගය පරණවිතාන සහභාගි වූ අවසන් ටෙස්ට් තරගය වූ අතර එහි පළමු ඉනිමේදී ලකුණු 40 ක් රැස්කළ ඔහු දෙවැනි ඉනිමේදී මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොළබා දැවී ගියේය.

ඉන් අනතුරුව පරණවිතානට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූ අතර ඔහු වෙනුවට වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, තිලකරත්න දිල්ෂාන් සමග ඉනිම ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් විය.

ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවුනද, දිගින් දිගටම පළමු පෙළ තරග සඳහා තරග වැදුණ පරණවිතාන, ක්‍රීඩාවෙන් සමුගන්නා විට පළමු පෙළ තරග 222 කදී ශතක 40 ක් සහ අර්ධ ශතක 69 ක් සමග ලකුණු 14,940 ක් ලබා සිටියේ 51.44 ක සාමාන්‍යයක්ද රඳවාගනිමිනි.

-036


අදහස් (0)

තරංග පරණවිතාන ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.