Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේදී

ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේදී

editorial - 2019 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 10 කට පමණ පසුව පාකිස්තානයේ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම, රාවල්පින්ඩිහිදී සහ කරච්චිහිදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහභාගි වීමට නියමිතය. එම තරග දෙක ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් තරග දෙකක්ද වේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් මස 11 වැනිදා සිට 15 වැනිදා දක්වා රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 19 වැනිදා සිට 23 වැනිදා දක්වා කරච්චි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරග 3 සහ විස්සයි20 තරග 3 ඉකුත් ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන පියවර ගැනීම නිසා ඔක්තෝබර් මාසයේදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ මෙම ටෙස්ට් තරග දෙක දෙසැම්බර් මාසය දක්වා කල් ගියේය.
 
මින් පෙර මෙම ටෙස්ට් තරග දෙක පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ ඩුබායිහිදී සහ අබුඩාබිහිදී වුවත්, එක්දින තරග 3 සහ විස්සයි20 තරග 3 සාර්ථක අයුරින් පාකිස්තානයේදී පැවැත්වීමට හැකි වීම නිසා ටෙස්ට් තරගය දෙකද පාකිස්තානයේදීම පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන එකඟතාවයකට පැමිණියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ සකීර් ඛාන් මහතා කියා සිටියේ මෙය පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා මහඟු අවස්ථාවක් බවයි.

“පාකිස්තානය තුළ ක්‍රීඩා කිරීම දැන් ලෝකයේ ඕනෑම රටක් සඳහා ආරක්ෂිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපි ස්තූතිවන්ත වෙනවා එයාලගෙ ටෙස්ට් කණ්ඩායම අපේ රටට එවීම සම්බන්ධයෙන්. එය අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න ලෙකු අත්වැලක් වේවී. ඒ වගේම වසර ගණනාවකින් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනවා දැකලා නැති අපේ රටේ තරුණ පරම්පරාවට එය නැවුම් අත්දැකීමක් වේවි.” යැයිද එහිදී ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ ඉකුත් ඔක්තෝබර් මාසයේදී දෙරට අතර පැවැති එක්දින සහ විස්සයි20 තරගාවලීන්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ටෙස්ට් සංචාරයක් සඳහා කණ්ඩායමක් පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වූ බවයි.

“ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සෑම රටක්ම තමන්ගේ රටේදීම අන්තර්ජාතික තරගාවලි පැවැත්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව පාකිස්තානයේදී නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපේ කොටස කිරීමට අපි සූදානම්” යයි කී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා...

“පාකිස්තානයට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා පමණක් නෙමෙයි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් කාලයේ සිටම අපේ විශාලතම ආධාරකරුවා වූයේත් පාකිස්තානයයි” යයිද පැවසීය.


ටෙස්ට් තරගාවලියේ තරග කාල සටහන

■ පළමු ටෙස්ට් තරගය - දෙසැම්බර් 11 වැනිදා සිට 15 වැනිදා දක්වා - රාවල්පින්ඩිහිදී
■ දෙවැනි ටෙස්ට් තරගය - දෙසැම්බර් 19 වැනිදා සිට 23 වැනිදා දක්වා - කරච්චිහිදී

 

- 036


අදහස් (0)

ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.