Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජීවිත අවදානමත් නොතකා මම ඉන්දියාවට යනවා

ජීවිත අවදානමත් නොතකා මම ඉන්දියාවට යනවා

editorial - 2020 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(චම්පික ප්‍රනාන්දු)

වසර 9 කට ඉහතදී පැවැති (2011) ලෝක කුසලාන අවසන් මහ තරගය මුදලට පාවා දුන්නේ යයි  මහින්දානන්ද අළුත්ගමගේ මහතා කරන ප්‍රකාශය 'බොරු' ලෙස ප්‍රතික්ෂේප කිරීමකින් පමණක් නතර නොවන අරවින්ද ද සිල්වා ඒ සම්බන්ධයෙන්  ස්වාධීන පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වන ලෙස ඉන්දීය රජයෙන් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ඉල්ලා සිටී.  ස්වාධීන පරීක්ෂණයකින් තොරව මෙම ප්‍රහේලිකාව ලිහා ගැනීමට නොහැකි වන බවත් ඒ සඳහා සහාය වීමට තමන් ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම් බවත් එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා ‘ද සන්ඩේ ටයිම්ස්‘ පුවත් පතට පවසා තිබේ.  

“මිනිසුන්ට සෑම විටම බොරු කියලා ගැලවිලා යන්න දෙන්න බෑ. මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් වහාම පරීක්ෂණයක් කරන්න ඕනෑ“ යයි අරවින්ද ද සිල්වා මහතා කියයි.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනාගත් 1996 අවසන් මහ තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 107 ක් ලබාගත් අරවින්ද එම තරගයේදීම ලකුණු 42 කට කඩුලු 3 ක් ද දවාගනිමින් තරගයේ වීරයා සම්මානයද හිමිකරගත්තේය.

“අපි අපේ ලෝක කුසලාන ජයග්‍රහණය අගය කළා වගේම සචින් (තෙන්ඩුල්කාර්) වැනි ක්‍රීඩකයින් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම එම අවස්ථාව අගය කරනවා.  මම හිතන්නේ සචින් සහ ඉන්දියාව පුරා සිටින මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන්, (ඔවුන් ලෝක කුසලානයක් දිනාගත්තේ නියමාකාරයෙන් බව පෙන්වාදීම සඳහා) අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කිරීම ඉන්දීය රජයේ සහ ඔවුන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ යුතුකමයි“ යයිද හෙතෙම පැවසීය.

ඉන්දියාව පරීක්ෂණයක් ආරම්භ කරන්නේ නම්, එම පරීක්ෂණයට සහාය දැක්වීම සඳහා, කොරෝනා සමයේදී පවතින ජීවිත අවදානමද නොතකා තමන් ඉන්දියාවට යාමට සූදානම් බවද
අරවින්ද ද සිල්වා මහතා පැවසීය.

“මෙවැනි බරපතල චෝදනා එල්ල වන විට, එය බොහෝ දෙනෙකුට බලපානවා. මේ අවස්ථාවේ දී අපි විතරක් නෙමේ....තේරීම් කමිටු සාමාජිකයන්, මේ තරගයේදී සෙල්ලම් කරපු ක්‍රීඩකයින් 22 දෙදෙනා, කණ්ඩායම් කළමනාකරණය කළ අය වගේම තමන්ගේ දස්කම්වලින් ලෝක කුසලාන දිනා  ගත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ද ඒ අතර සිටිනවා. ඒ හින්දා.... අප සියලු දෙනා ආදරය කරන ක්‍රීඩාවේ වැඩි යහපත වෙනුවෙන් මේ වතාවේදීවත් මේක ඉවර කරලා දාන්න ඕනේ“ යයිද අරවින්ද ද සිල්වා මහතා පැවසීය.

චෝදනාවට ලක්වූවන්ගේ නම් හිටපු ක්‍රීඩා ඇමතිවරයා විසින් සඳහන් කරනු ලැබ නැතත් අවසන් මහ තරගයට පෙර කණ්ඩායමේ වෙනස්කම් හතරක් කළ තේරීම් කමිටුව වෙත ඔහු ඇඟිල්ල දිගු කළ බව පෙනෙන්නට තිබේ.

2011 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමබර කළ සාධකය වූයේ තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ය. ඒ වන විට ඉතාම හොඳින් දස්කම් දක්වමින් සිටි මැතිව්ස් පන්දු යැවීමෙන්, පන්දු රැකීමෙන් මෙන්ම පිතිහරඹයෙන්ද ඕනෑම මොහොතකදී තරගයක තත්ත්වය වෙනස් කළ හැකි ආකාරයේ ක්‍රීඩකයෙක්ව සිටියේය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹදී පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 218 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා පිල 46 වැනි ඕවරය නිමාවන විට තරමක අමාරුවේ වැටී සිටියේය. එහෙත් ඊළඟ ඕවරයේ පන්දු තුනක් ඇතුළතදී හතරේ පහරකින් සහ හයේ පහරකින් ලකුණු 10 ක් ලබාගත් මැතිව්ස් ශ්‍රී ලංකා පිල අවසන් මහ තරගය කරා කැඳවාගෙන ගියේය‍.

එවන් තීරණාත්මක ක්‍රීඩකයකු වූ මැතිව්ස් අවසන් මහ තරගයට පෙර ආබාධයකට ලක්වීමෙන් පසුව කණ්ඩායම සමබර කිරීමේ අවශ්‍යතාව ඉස්මතු විය. එබැවින් තේරීම් කමිටුව විසින් චාමර සිල්වා වෙනුවට චාමර කපුගෙදරද, අජන්ත මෙන්ඩිස් වෙනුවෙන් සුරාජ් රන්දිව්ද, රංගන හේරත් වෙනුවෙන් නුවන් කුලසේකර සහ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් තිසර පෙරේරාද සංචිතයට එක් කළහ.

කෙසේ වෙතත් මෙම ආදේශන සඳහා තමන්ගේ අනුමැතිය ලබා නොගත් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

“තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී අපි නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර තිබෙනවා. තේරීම් තේරීම් කමිටු සාමාජිකයන් විතරක් නෙමේ තේරීම් කරන්නේ.... එයට පුහුණුකරු, නායකයා, උප නායකයා ඇතුළත් වෙනවා.... සමහර විට අපි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට, කළමනාකරුට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාටත් ආරාධනා කරනවා“

“මේ ගොල්ලන්ගෙන්, ආරාධිත ක්‍රීඩකයින් හැර අන් සියල්ලන්ටම පොතක් තියෙනවා අත්සන් කිරීමෙන් තමන්ගේ අනුමැතිය දෙන්න... මේ සේරම අපහාසාත්මක චෝදනා... ඔහුට කිසියම් සැකයක් තියේ නම් එයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය වෙතයි යන්න ඕනේ..“ යයිද අරවින්ද ද සිල්වා මහතා පැවසීය.

“මෙන්න ඉන්න කීර්තියක් හෝ විශ්වසනීයත්වයක් නැති මිනිහෙක්  ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට උත්සාහ කරනවා.... ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට මම සූදානම්. නමුත් මේ බොරුකාරයින්ට තමන්ගේ මතය වපුරන්න ඉඩදෙන්න බෑ.... “

“අපි මහන්සියෙන් උපයාගත් කීර්තිනාමයට ඔවුන් කැළලක් ඇති කරනවා“ යයිද අරවින්ද ද සන්ඩේ ටයිම්ස් පුවත් පතට පැවසීය.
 


අදහස් (1)

ජීවිත අවදානමත් නොතකා මම ඉන්දියාවට යනවා
  • විජේ Monday, 22 June 2020 11:59 PM

    ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ හොඳම පිතිකරුද? නැත්නම් ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ කම්බම හොරාද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.