Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලිගේ පිතිහරඹය ඉන්දියාවට ජය ගෙනෙයි

කෝලිගේ පිතිහරඹය ඉන්දියාවට ජය ගෙනෙයි

editorial - 2019 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව මොහාලිහිදී ඊයේ (18 වැනිදා) පැවැති දෙවැනි විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 19 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කෝලි පන්දු 52 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. ආරම්භක පිතිකරු ශිකර් ධවාන් (40) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෝලි සමත් විය.

තබ්‍රේස් ශම්ෂිගේ පන්දුවක් හමුවේ ඬේවිඞ් මිලර් අතට උඩ පන්දුවක් දෙමින් ධවාන් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර දැවීයන විට පන්දු 31 කට මුහුණදී සිටි ධවාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
 
මුළු ලකුණු සංඛ්‍යාව 33 ක් වන විට ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ශර්මා ලකුණු 12 කට දවාගැනීමට ඇන්ඩිල් පෙලුක්වායෝ සමත් වූ අතර රිෂාබ් පාන්ට් ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගියේ ජෝන් ෆෝචූන්ගේ පන්දුවක් හමුවේ තබ්‍රේස් ශම්ෂි අතට උඩ පන්දුවක් දෙමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 149 ක් ලබාගත් අතර එහිදී හතරේ පහර 8 ක් සමග පන්දු 37 කින් ලකුණු 52 ක් රැස්කිරීමට නායක ක්වින්ටින් ඩි’කොක් සමත් විය.
 
ටෙම්බා බවුමා (49) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩි’කොක් සමත් වූ අතර අර්ධ ශතකය පෙනි පෙනී දැවීයන විට පන්දු 43 කට මුහුණදී සිටි බවුමාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත වී තිබිණ.

ඉන්දීය කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ දීපක් චාහර් ඕවර 4 ක් යවමින් ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගත්තේය.

දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 149
(ක්වින්ටින් ඩි’කොක් 52, ටෙම්බා බවුමා 49, ඬේවිඞ් මිලර් 18, දීපක් චාහර් 22/2)

ඉන්දියාව - ඕවර 19 කදී කඩුලු 3 ක් දැවී 151
(ශිකර් ධවාන් 40, විරාට් කෝලි නොදැවී 72, ශ්‍රියාස් අයියර් නොදැවී 16)

-036

 


අදහස් (0)

කෝලිගේ පිතිහරඹය ඉන්දියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.