Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලිගෙන් ඉගෙනගන්න දේවල් තියෙනවා - පොතාස්

කෝලිගෙන් ඉගෙනගන්න දේවල් තියෙනවා - පොතාස්

රොෂාන් ගුණරත්න - 2017 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පිලේ නායක විරාට් කෝලිගෙන් අපේ ක්‍රීඩකයන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තාවකාලික පුහුණුකරු නික් පොතාස් මහතා ඊයේ (06) රාත්‍රී පැවසීය.


ශ්‍රී ලංකා පිල ඉන්දියාව හමුවේ විස්සයි20 තරගයෙන් ද පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පොතාස් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.  


 “ඔවුන් බොහෝ දේවල් කරනවා. ඒ සෑම දෙයක්ම මූලික දේවල් මත රඳා පවතිනවා. විරාට් කඩුලු අතර දුවන ආකාරය බලන්න. ඔහු පිටියේ පන්දු රකින්නන් යොදවන ආකාරය ඔහුට තිබෙන ගෞරවය, ඔහුගේ නායකත්ව ගුණාංග දෙස හොඳින් බලන්න ඕනේ. ඔහු සෙසු ක්‍රීඩකයන්ට ආදර්ශයට ගත හැකි චරිතයක්. විරාත් ඉන්දීය කණ්ඩායම තුළ අලුත් සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා. එය ආකර්ෂණීයයි. එය ඔහු පිළිබඳ අගය කිරීමක් වුණත්, එය අපි ඉගෙන ගත යුතු කරුණක්. ඔවුන් ප්‍රතිවාදී කණ්ඩායමට ගෞරවයක් දීලා තමයි තරග කරන්නේ. මෙහිදී අපිට වැඳගත්ම දේ තමයි වැරැදිවලින් ඉගෙන ගැනීමයි”


එම තරගයේදී විරාට් කෝලි ඇඟට නොදැනී අනගි ලකුණු 82 ක් රැස්කරමින් ඉන්දීය පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගියේය. එහිදී කෝලි ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතටම පහර දෙමින් ලකුණක් ඇතැම් අවස්ථාවලදී ලකුණු දෙකක් දිව යෑම කැපී පෙනුණි.  


මෙම තරගාවලියේ ආසාර්ථකත්වය පිළිබඳව පුහුණුකරු මෙසේ අදහස් දැක්වීය.  


“අපි පරාජ රැසකට මුහුණ දුන්නා. පුවත්පත්වල ඒවා පළවුණා. තරුණ කණ්ඩායමක් තමන්ට නුහුරු දකුණු අප්‍රිකා සංචාරයක නිරත වුවත් එය දුෂ්කර සහ අභියෝගාත්මක සංචාරයක් වුණා. එහෙත් අපි දකුණු අප්‍රිකාවේදී හොඳ දේවලුත් කළා. මෙම තරගාවලියේදී අපි බලාපොරොත්තු වූ ආකාරයට ක්‍රීඩා කළේ නෑ. ඒක අපි පිළිගන්නවා. මේ තරගාවලියේදී අපි අසාර්ථකයි. අපි පරාජයට පත්වුණා. අපි වැරදි හදාගෙන ඉදිරියට යා යුතුයි”


“මෙම තරගාවලිය ඉතා දීර්ඝ තරගාවලියක්. තවත් තරග කිහිපයක් එක් කළා නම් එය තවත් දීර්ඝ වෙනවා. අපිට දීපු තරගාවලියට අපි මුහුණු දුන්නා. එය සැලසුම් කරන්නේ ක්‍රිකට් ආයතනයයි. තරග ආකෘතිය කුමක් වුවත්, ඊට සාර්ථකව මුහුණ දීමට අපි කටයුතු කළ යුතුයි”
විස්සයි20 තරගය පරාජයට පත්වීම පිළිබඳව පුහුණුකරු මෙසේ පැවසීය.


“ලකුණු 170 ක් කියන්නේ හොඳ ලකුණු සංඛ්‍යාවක්. නමුත් අපි ක්‍රීඩා කළ ආකාරය බැලුවොත් මෙම තණතීරුවේ අපිට තව ලකුණු 15 ක් විතර වැඩියෙන් රැස්කරන්න තිබුණා. අපිට ඉතා හොඳ කෙටි ඉනිම් කිහිපයක් තිබුණා. ඔවුන්ට දිගු ඉනිම් ක්‍රීඩා ලැබුණා නම් හොඳයි. ඉන්දියාව වැනි හොඳ කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කිරීමේදී හොඳින් පන්දු රකින්න වෙනවා. සෑම පන්දුවකදීම ලකුණක් නොදි සිටිය යුතු වෙනවා”


“ඉන්දීය කණ්ඩායම ප්‍රමිතියෙන් ඉහළ කණ්ඩායමක්. එවැනි කණ්ඩායමක් සමඟ තරග කිරීම විශාල අභියෝගයක්. ඔවුන් පරාජයට පත් කිරීම ඊටත් වඩා ලොකු අභියෝගයක්. සාර්ථක කණ්ඩායමක් බවට පත්වීමට හොඳ තරගයක් දීමට අප තවත් දේවල් කළ යුතුයි. ඉන්දීය පිලෙන් අපි ඉගෙන ගත්තේ නැති නම් අපි කරන්නේ වැරැද්දක්”


ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධයකට ලක්වීමේ විශේෂයක් නොවන බව පුහුණුකරු මෙසේ පැහැදිළි කළේය.


“ලෝකය පුරා ක්‍රිඩකයෝ ආබාධයන්ට ලක්වෙනවා. සංචිතයේ සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් අබාධාවලට ලක්වෙනවා. එය සාමාන්‍ය දෙයක්. ඉන්දීය කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයා සමඟ මා කතා කළා. සංචිතයෙන් සියයට 15 ත් 20 ත් අතර ක්‍රීඩකයන් ආබාධවලට ලක්වෙනවා කියන්නේ පිළිගත හැකි සංඛ්‍යාවක්. අපි ඉන්නෙත් එම සීමාවේ”


“මුණ බලා පිට ඉඳන් චෝදනා කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. අපේ කණ්ඩායම සංවර්ධනය වෙමින් තියෙන එකක්. ඔවුන්ගේ කණ්ඩායම ස්ථාවර වුණ එකක්. මුලින්ම අපි ඒ ගැන බලන්න ඕනේ”


උපුල් තරංග ටෙස්ට් පිටියෙන් මාස හයක් විවේක ගැන්වීම පිළිබඳව කළ විමසුමේදී පොතාස් මහතා පැවසුවේ ඒ පිළිබඳව අවශ්‍ය නම් උපුල් අහන්න යනුවෙනි.

 


අදහස් (0)

කෝලිගෙන් ඉගෙනගන්න දේවල් තියෙනවා - පොතාස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.