Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ සැනසිලි සහගත ජයක් ලබති

කොදෙව්වෝ සැනසිලි සහගත ජයක් ලබති

editorial - 2019 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගය ලෙස ඇෆ්ඝනිස්තානයට එරෙහිවලීඞ්ස්හි හැංග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 23 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණයකින් නිමා කිරීමටද ඔවුන්ට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 288 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ කාර්ලෝස් බ්‍රැත්වේට් ලකුණු 63 කට කඩුලු 4 ක්ද, කේමර් රෝච් ලකුණු 37 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

මුලු ලකුණු සංඛ්‍යාව නායක 5 ක් වන විට නායක ගුලාබ්දීන් නයිබ් දැවී ගියද, රාමට් ෂා (62) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 149 කදී ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ලාබාල ක්‍රීඩක ඉක්‍රම් අලි ඛිල් (86) සමත් විය. කෙසේ වුවත් කාර්ලෝස් බ්‍රැත්වේට්ගේ පන්දුවක් හමුවේ ක්‍රිස් ගේල් අතට උඩපන්දුවක් දෙමින් රාමට් ෂා දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

පන්දු 78 කට මුහුණදුන් ෂා හතරේ පහර 10 ක් සමගින් සිය 15 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් අතර පන්දු 93 කදී ලබාගත් සිය මංගල අර්ධ ශතකය හතරේ පහර 8 කින් අලංකාර කිරීමට අලි ඛිල් සමත් විය. හිටපු නායක අස්ගර් ඇෆ්ගන්ද පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කළ නමුත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන යෑමට ඔහුට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 311 ක් රැස්කළේය. සිය අවසන් ලෝක කුසලාන තරගයට සහභාගි වූ ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු 7 කට දැවී ගියද, කොදෙව් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 116 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට එවින් ලුවිස් (58) සහ ශායි හෝප් (77) සමත් වූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 109 ක්ව තිබියදී කොදෙව් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස එවින් ලුවිස් දැවී ගිය අතර ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ශිම්රන් හිට්මියර් (39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශායි හෝප් සමත් විය.

පන්දු 78 කදී වාර්තා වූ ලුවිස්ගේ 5 වැනි අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දු 92 කදී වාර්තා වූ හෝප්ගේ 13 වැනි අර්ධ ශතකයටද හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. පන්දු 31 කට මුහුණදුන් හිටිමියර් ලකුණු රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ නිකලස් පූරන් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 58 ක්ද, නායක ජේසන් හෝල්ඩර් පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 45 ක්ද රැස්කරමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. කෙදෙව් ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 105 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 311
(එවින් ලුවිස් 58, ශායි හෝප් 77, ශිම්රන් හිටිමියර් 39, නිකලස් පූරන් 58, ජේසන් හෝල්ඩර් 45, කාර්ලෝස් බ්‍රැත්වේට් 14, දවුලත් සද්රාන් 73/2)

ඇෆ්ඝනිස්තාන පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 288
(රාමට් ෂා 62, ඉක්‍රම් අලි ඛිල් 86, නජිබුල්ලා සද්රාන් 31, අස්ගර් ඇෆ්ගන් 40, සයිඞ් සිරාස්ඞ් 25, කාර්ලෝස් බ්‍රැත්වේට් 63/4, කේමර් රෝච් 37/3)

 

ප්‍රසාද ලකුණු සටහන

- 036


අදහස් (0)

කොදෙව්වෝ සැනසිලි සහගත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.