Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වන්ගේ ගමන නිමවෙයි

කොදෙව්වන්ගේ ගමන නිමවෙයි

editorial - 2019 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය පූජාසනයෙන් බැස්සවූ ඉන්දියානුවෝ ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම තමන් යයි නැවත වරක් සනාථ කරමින් මැන්චෙස්ටර්හිදී අද (27 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 125 ක දැවැන්ත ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් 2019 ලෝක කුසලාන තරගාවලියේ අපරාජිත වර්තාව රැකගත් ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු 11 ක් ලබාගනිමින් අවසන් පූර්ව වටයේ කඩයිම අසළටම පැමිණියේය. 

මෙම පරජයත් සමගින් කොදෙව් පිලේ ලෝක කුසලාන සිහිනය බොඳව ගියේය. 

ඉන්දීය වේග පන්දු යවන්නන්ගේ පන්දු යැවීම අද දිනයේ 100% ක නිරවද්‍යතාවකින් යුතු විය. කඩුලු 4 ක් දවාගත් මොහොමඞ් ෂාමි (16/4) සහ ජස්ප්‍රීට් බුම්රා (09/2) කොදෙව් පිතිකරුවන්ට සිතන්නටවත් යමක් ඉතිරි නොකළහ. කොදෙව් පිලේ විනාශය ආරම්භ කරන ලද්දේ ක්‍රිස් ගේල් ලකුණු 6 කට දවාගත් මොහොමඞ් ෂාමි විසිනි. 

එතැන් සිට නියමිත කාල ප්‍රාන්තර අතරේ කඩුලු බිඳ වැටුණු අතර ලකුණු 20 පසුකර යාමට හැකිවූයේ සුනිල් ඇම්බි්‍රස් සහ නිකොලස් පූරන් දෙදෙනාට පමණි. තරගයේ වීරයා වශයෙන් විරාට් කෝලි සම්මාන දිනාගත්තේය. 

මහේන්ද්‍ර සිං දෝනී (නොදැවී 56) සහ හර්දික් පාණ්ඩ්‍යා (46) එක්ව 6 වැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 70 ක සම්බන්ධතාවය හේතුවෙන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 268 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 8 ක් ලබා සිටියදී ඉතාමත් පහසු ස්ටම්ප් කිරීමකට හසුකරගත හැකිව තිබුණද කොදෙව් කඩුලු රකින්නා වූ ෂායි හෝප් විසින් එම අවස්ථාව මගහැරීම නිසා ඉන් නිසි ප්‍රයෝජන ගනිමින් අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරතවූ මහේන්ද්‍ර සිං දෝනී ඉන්දීය ඉනිම නිමාවන විට පන්දු 61 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැස්කිරීමට සමත්විය. ආරම්භයේදී ඉතා මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරතවූ දෝනීට පළමු ලකුණු 20 රැස්කිරීමට පන්දු 40 ක් වැයවූ නමුත් අවසන් ලකුණු 36 පන්දු 21 කදී ලබාගැනීමට ඔහු සමත්විය.

පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 46 ක් රැස්කළ හර්දික් පාණ්ඩ්‍ය ඉන්දීයාවට ලකුණු 250 සීමාව පසුකර යෑමට අවස්ථාව සලසා දුන්නේය.

සිය 53 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 55 කදී ලබාගත් විරාට් කෝලි ලකුණු 72 ක් රැස්කර සිටියදී ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක ඩැරන් බ්‍රවෝ අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 82 කට මුහුණදුන් කෝලීගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා ශතක 19 ක් වාර්තා වී ඇතත් ලොව හොඳම එක්දින පිතිකරුවා වශයෙන් සැලකෙන විරාට් කෝලිට ශතකයක් ලබාගැනීමට හැකිවී නැත. නමුත් පිට පිට තරග 4 කදී අර්ධ ශතක 4 ක් ලබාගැනීමට කෝලී සමත්වී ඇත.

අන්තර්ජාතික ඉනිම අඩුම සංඛ්‍යාවකදී ලකුණු 20,000 කඩයිම පසුකළ පිතිකරුවා බවට පත්වූ විරාට් කෝලිට ඒ වෙනුවෙන් ඉනිම 417 කට මුහුණ දුන්නේය. කෝලිට පෙර අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 20,000 කඩයිම පසුකර ගොස් සිටියේ සචින් තෙන්ඩුල්කාර් සහ බ්‍රයන් ලාරා දෙදෙනාය. ඔවුන් දෙදෙනාටම ඒ වෙනුවෙන් ඉනිම 453 ක් අවශ්‍ය වී තිබිණ.

විරාට් කෝලි සමගින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 69 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ලෝකේෂ් රාහුල් ලකුණු 48 ක් රැස්කර සිටියදී ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. දැවියනවිට පන්දු 64 කට මුහුණදී සිටි රාහුල්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

මතභේදාත්මක තීන්දුවක් හේතුවෙන් ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා දැවීයන විට ඔහුට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 18 ක් පමණි. රෝහිත්ගේ පාදයත් පිත්තත් අතරින් රිංගා ගිය පන්දුව උඩපන්දුවක් යයි කඩුල රකින ෂායි හෝප් කළ ඉල්ලීම විනිසුරු රිචඞ් ඉලිංවර්ත් මහතා ප්‍රතික්ෂේප කළේය. එහෙත් තුන්වැනි විනිසුරුවරයාගේ සහාය ඉල්ලා සිටි කොදෙව් නායකයා කඩුල්ල තහවුරු කරගත් නමුත් ෂර්මා ආපසු ක්‍රීඩාගාරයට ගියේ හිස දෙපසට වනමිනි. රූපවාහිනී තිරයේ දිස්වූ පරිදි පන්දුව පිත්තත් පා ආවරණයත් අතර පිහිටන අවස්ථාවේදීිඅල්ට්‍රා එජ්’ තාක්ෂණය අනුව දිස්වූයේ පන්දුව පිත්තේ හෝ පා ආවරණයේ ගෑවෙන බවකි.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 268 
(ලෝකේෂ් රාහුල් 48, රෝහිත් ෂර්මා 18, විරාට් කෝලි 72, විජේ ශංකර් 14, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 56, හර්දික් පාණ්ඩ්‍යා 46, ෂෙල්ඩන් කොට්රල් 50/2, කෙමර් රෝච් 36/3, ජේසන් හෝල්ඩර් 33/2)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 34.2 කදී සියලු දෙනා දැවී 143 යි
(සුනිල් ඇම්බි්‍රස් 31, නිකලස් පූරන් 28, ෂිම්රන් හෙට්මියර් 18, කෙමර් රෝච් 14, මොහොමඞ් ෂාමි 16/4, ජස්ප්‍රීට් බුම්රා 09/2, යුෂ්වේන්ද්‍ර චාහල් 39/2)


අදහස් (0)

කොදෙව්වන්ගේ ගමන නිමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.