Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුඩා කාලයේ සෙල්ලම් කරපු විදිහට යමු

කුඩා කාලයේ සෙල්ලම් කරපු විදිහට යමු

editorial - 2020 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
කොරෝනා වයිරසය පැතිරීයාමේ දරුණුතම තත්ත්වය පහව ගිය පසු ක්‍රීඩාංගණවල ප්‍රේක්‍ෂකයන් නොමැතිව හෝ ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සලකා බැලීම වටීන බව ඕස්ටේ්‍රලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා පවසයි.
 
කොවිඞ්-19 වසංගතය පාලනය කිරීමට ගන්නා උත්සාහයන් නිසා ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව නවතා ඇති අතර ලෝකයේ සියලුම ක්‍රීඩා තරග මේ වන විට නැවතී තිබේ. එහෙත් මෙම තත්ත්වයෙන් මිදීමට දිගු කාලයක් ගත වුවහොත්, තරග නැවත ආරම්භ වූ පසු විකල්පයක් ලෙස හිස් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට කණ්ඩායම් උනන්දු වනු ඇතැයි ලැන්ගර් මහතා කියයි.
 
“ඔබ කුඩා කාලයේදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් අවදියේ විශාල ජනකායක් පිට්ටනියේ හිටියේ නෑ”

”සමහර විට ඔබේ අම්මයි තාත්තයි ඇවිත් බලාගෙන ඉන්න ඇති. නැත්නම් ඔබගේ සහෝදරයායි, සහෝදරියයි කම්මැලියි කමින් බලා ඉන්න ඇති... ඒත් ඔබ ක්‍රීඩා කළා....ඔබ එසේ ක්‍රීඩා කළේ ඔබ ක්‍රීඩාවට ප්‍රිය කළ නිසාත්, ඔබේ සහකරුවන් සමඟ සෙල්ලම් කිරීමට ඔබ ප්‍රිය කළ නිසාත් මිස වෙනත් හේතුවක් නිසා නෙමේ” යැයි බටහිර ඕස්ටේ්‍රලියානුවා බී.බී.සී ගුවන් විදුලි සේවයට පවසා තිබිණ.
 
“දැන් කරන්න තියෙන්නේ එක දෙයයි... පිට්ටනිවල නරඹන්නන් හිටියත් නැතත් අපි සෙල්ලම් කරමු... වෙනත් විදිහකට කියනවා නම් අපි කුඩා කාලයේ සෙල්ලම් කරපු විදිහටම යමු” යයිද ඕස්ටේ්‍රලියානුවා පැවසීය.
 
මාර්තු 13 වනදා නවසීලන්තයට එරෙහිව සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවූ එක්දින තරගාවලියේ පළමු තරඟයේදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ක්‍රීඩා කළේ ක්‍රීඩාංගණයේ සියලුම දොරටු වසා දමමිනි. නරඹන්නන් නැතිව ක්‍රීඩා කිරීමේ අත්දැකීම ඔව්හු එදා ලැබූහ. කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවර ගැනීමත් සමඟ සිඞ්නි සහ හොබාර්ට් හි පැවැත්වීමට තිබූ තරග දෙක අවලංගු කරමින් නවසීලන්ත කණ්ඩායම නැවත සිය රට බලා ගියේය.

ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය ඉදිරි වසර සඳහා ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම පවා ප්‍රමාද කර ඇති අතර පසුගිය සතියේ ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු වූ බව ටෙස්ට් නායක ටිම් පේන් පැවසුවේය. කෙසේ වෙතත් ලැන්ගර් මහතා යෝජනා කළේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට ඉවහල් වන බවයි.
 
“අපි ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම විශාල ජනකායක් ඉදිරියේ ක්‍රීඩා කිරීමට ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම කොතරම් වාසනාවන්තද......නමුත් ක්‍රීඩාවට ඇති ඇල්ම සහ රූපවාහිනී යන්ත්‍ර හෝ ගුවන්විදුලිය හරහා මිනිසුන්ට විනෝද වීමට හැකිවීම මගින් එහි වටිනාකමක් තිබෙනවා” යයිද ලැන්ගර් මහතා පැවසීය.
 
ඕස්ටේ්‍රලියාවේ මීළඟ තරගාවලිය වන බංග්ලාදේශ සංචාරය ජූනි මාසයේදී නොපැවැත්වෙන බව වටහා ගැනීමට ‘අයින්ස්ටයින්’ වීම අවශ්‍ය නොවන බව ටෙස්ට් නායක ටිම් පේන් පසුගිය සතියේ පැවසුවේය.
 
ඉන් අනතුරුව ඕස්ටේ්‍රලියාව සීමිත ඕවර තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය. එංගලන්තයේ සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නායකයා වන ඔයින් මෝගන් දැනටමත් යෝජනා කර ඇත්තේ ප්‍රේක්ෂකයින් නොමැතිව එම තරඟ ක්‍රීඩා කළ හැකි බවයි.

 

..

 


අදහස් (0)

කුඩා කාලයේ සෙල්ලම් කරපු විදිහට යමු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.