Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා වි-20 ලෝක කුසලාන තරග අනිද්දා සිට

කාන්තා වි-20 ලෝක කුසලාන තරග අනිද්දා සිට

යොහාන් භාසුර - 2020 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව හත්වැනි වරටත් සංවිධානය කරන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අනිද්දා (21 වැනිදා) ආරම්භ වේ. තරගාවලිය ලබන මාර්තු 8 වැනිදා අවසන් වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මීට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලි හයටම සහභාගි වී ඇති අතර එම සෑම තරගාවලියකදීම පළමු වටයෙන්ම ඉවතට විසිවී තිබේ. 2016 වසරේ ඉන්දියාවේදී පැවැති පස්වැනි ලෝක කුසලාන තරගාවලියේදී පමණක් අයර්ලන්තය සහ දකුණු අප්‍රිකාව පරාජය කරමින් පළමු වටයේ තරග දෙකක් ජය ලැබීය. සෙසු තරගාවලි පහේදී එක තරගයක් පමණක් ජය ලැබීය.

 ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස සැළකෙන ශෂිකලා සිරිවර්ධන 2012, 2014 සහ 2016 යන තරගාවලි තුනේම ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කළාය. ඇය මෙම තරගාවලියෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

සුපිරි පිතිකාරිනියක් වන චමරි අතපත්තු මෙවර දෙවැනි වරට ශ්‍රී ලංකා විස්සයි20 පිල ලෝක කුසලාන තරගාවලියකදී මෙහෙයවන අතර ඇයගේ දස්කම් මෙම තරගාවලියේදී ද ජයග්‍රහණයට ප්‍රධාන සාධකය වනුඇති බවට පුහුණු තරගවලදී ප්‍රදර්ශනය විය. ශ්‍රී ලංකා පිල දෙවැනි පුහුණු තරගයේදී ප්‍රබල එංගලන්ත පිල කඩුලු 10 කින් පරාජය කිරීම ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර විශේෂ දෙයක් කරන බවට චමරි අතපත්තු කළ ප්‍රකාශයේ පෙරනිමිත්තක් බවට ද මත පළවී තිබේ.  

මෙවර තරගාවලියේ පළමු වටයේදී ‘ඒ’ කාණ්ඩයේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග කරන අතර ‘බී’ කාණ්ඩයේ එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ තායිලන්තය තරග කරයි.  සම්පූර්ණ තරගාවලියට තරග 23 ක් ඇතුළත්ව ඇති අතර එම තරග සිඩ්නි, පර්ත්, මෙල්බර්න් සහ කැන්බරා යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී ප්‍රබල නවසීලන්ත පිලට එරෙහිව පර්ත්හිදී අනිද්දා (22 වැනිදා) තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව දෙවැනි තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හිදී මේ මස 24 වැනිදා තරග කරයි.  

ශ්‍රී ලංකා පිල තෙවැනි තරගයේදී ඉන්දියාවට එරෙහිව මේ මස 29 වැනිදා ද, සිවුවැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහිව මාර්තු මස 2 වැනිදා ද, මෙල්බන්හිදී තරග කිරීමට නියමිතය.

පළමු වටයේ තරග අවසානයේ කාණ්ඩ දෙකේ වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. එම කණ්ඩායම් හතර අතර අවසන් පූර්ව තරගය මාර්තු මස 5 වැනිදා සිඩ්නිහිදී පැවැත්වේ.  අවසන් මහ තරගය මෙල්බන් ක්‍රීඩාංගනයේදී මාර්තු මස 8 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය:
චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, නිලක්‍ෂි ද සිල්වා, අමා කාංචනා, කවීෂා දිල්හාරි, උදේෂිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමේෂා තිමේෂනී, සුරංගිකා කුමාරි සහ ඩිලානි මනෝදර
 
  


අදහස් (0)

කාන්තා වි-20 ලෝක කුසලාන තරග අනිද්දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.