Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩකයන් හිටියේ වෙන ලෝකෙක

ක්‍රීඩකයන් හිටියේ වෙන ලෝකෙක

editorial - 2020 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසය ලෝ පුරා පැතිරී යන අවස්ථාවකදී ක්‍රිකට් ගැසීම පසෙක තබා තම තමන්ගේ පවුලේ සාමාජිකයන් සමග එක්ව සිටීමට ගත් තීරණය නිවැරදි බව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් කියයි. ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් ටෙස්ට් තරග දෙකකින් සමන්විත වූ තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායමේ නායකයා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර බී.බී.සී. ප්‍රවෘත්ති සේවය එසේ පවසා තිබේ.

ජෝ රූට් පවසා තිබුණේ ක්‍රීඩකයන්ගේ මනස ක්‍රිකට් ක්‍රීඩාවේ නොව “වෙනත් කොහේදෝ” රැඳී තිබූ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සමග පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ සිව්දින තරගයේ දෙවැනි දිනය වූ සිකුරාදා තේ පානයෙන් පසුව නතර කර දැමිණ. එතැන් සිට ලැබෙන පළමු වැනි ගුවන් යානයෙන්ම නැවතත් සියරට බලා පිටත්ව යාමට උනන්දුවෙන් සිටි එංගලන්ත කණ්ඩායම ඊයේ (14 වැනිදා) නැවතත් එංගලන්තය බලා පිටත්ව ගියේය.

මේ මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමිණ. තරගාවලිය කල්දැමීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසා තිබුණේ ක්‍රීඩකයන්ගේත් කණ්ඩායම් නිලධාරීන්ගේත් ශාරීරික යෝග්‍යතාව සහ මානසික සමබරතාව අන් සියල්ලටම වඩා වැදගත් බවයි.

“මේ තීරණයත් සමග කිසියම් සහනදායි බවක් දැනුණා. නිවැරදි තීරණය අරන් තිබෙනවා” යයි පැවසූ එංගලන්ත නායක ජෝ රූට්...

“ඒක මේ ක්‍රීඩකයන් දිහා බැලුවාම කියන්න පුළුවන්. ඔවුන්ගේ හිත තිබුණේ වෙන කොහෝදෝ තැනක. ඔවුන් හිතමින් හිටියේ තමන්ගේ පවුලේ උදවිය සහ තමන් ආදරය කරන අය ගැන..... ඒත් දැන් අපට ආපසු ගිහිල්ලා ඒ ගොල්ලන් එක්ක ඉන්න පුළුවන්. මේ තත්ත්වය බොහෝ ක්‍රීඩකයන්ට සහනයක් වෙලා තියෙනවා” යයිද බී.බී.සී. පුවත් සේවයට පැවසීය.

එංගලන්ත නායකයා කීවේ ක්‍රීඩකයන්ගේ කාමරයේදී කොරෝනා වයිරසය ගැන බොහෝ දේ කතාබහ වූ බවයි. එමගින් ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනි තැනට පත්ව තිබූ බවද හෙතෙම පැවසීය.

 

ඡායාරූප - ගයාන් අමරසේකර

..


අදහස් (0)

ක්‍රීඩකයන් හිටියේ වෙන ලෝකෙක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.