Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිස් මොරිස්ට කෝටි 44 ක ලංසුවක්

ක්‍රිස් මොරිස්ට කෝටි 44 ක ලංසුවක්

editorial - 2021 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එදා මෙදා තුර අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මිලකට අළෙවි වූ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් සමත් විය. වෙන්දේසියට ඉදිරිපත් කරන විට මොරිස්ට නියම කර තිබුණේ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක ලන්සුවක් පමණක් වුවද, පන්ජාබ් කිංග්ස් පිල සහ රාජස්තාන් පිල අතර පැවැති දීර්ඝ ලන්සු තැබීමකට පසුව ඉන්දීය රුපියල් කෝටි 16.25 කට ඔහුව මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූහ.

මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 44 කට ඉතාම ආසන්න වේ. මේ තරම් විශාල මුදලකට ක්‍රිස් මොරිස් මිලදී ගැනීම සම්බන්ධයෙන් රාජස්තාන් රෝයල්ස් පිලේ ක්‍රිකට් අධ්‍යක්‍ෂක කුමාර් සංගක්කාර මහතා කියා සිටියේ ඔහු සුවිශේෂී ක්‍රීඩකයකු බවයි.

“ජොෆ්රා ආචර්ට සහාය වීමේදී මොරිස්ට විශේෂ භූමිකාවක් කරන්න තියෙනවා. අපි ආචර්ව භාවිතා කරන්න යන විදිහ අනුව මොරිස්ගෙන් ඊට විශාල සහායෝගයක් ලබාගත හැකියි.... ඔහු ශක්තිමත්ව සහ නියමිත ශාරීරික යෝග්‍යතාවෙන් ඉන්නා කාලවලදී ඔහුගේ පන්දු යැවීමේ දස්කම් - විශේෂයෙන්ම තරගයක අවසන් ඕවර කිහිපයේදී - අයි.පී.එල්. තරගාවලියේ හොඳම ක්‍රීඩකයන්ගේ දස්කම් හා සමපාත වෙනවා” යයි කුමාර් සංගක්කාර මහතා කියා සිටියේය.

මේ වසරේ (2021) ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් වලට ක්‍රීඩකයන් තොරාගැනීම සඳහා පැවැති ක්‍රීඩක වෙන්දේසියේ පළමු අදියර බ්‍රහස්පතින්දා පැවැති අතර එහිදී අළෙවි කිරීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් රැසක් මෙන්ම ඉන්දීය ක්‍රීඩකයන් රැසක්ද තෝරාගෙන තිබිණ. එහෙත් මෙහි කණගාටුදායක පැත්ත වූයේ පළමු වටයේ වෙන්දේසියට ඉදිරිපත් කර සිටි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් තිදෙනාගෙන් කිසිවකු මිලදී ගැනීමට එකම කණ්ඩායමක් හෝ ඉදිරිපත් නොවීමයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූ කුසල් ජනිත් පෙරේරා, ඉසුරු උදාන සහ තිසර පෙරේරා මිලදී ගැනීමට එකම කණ්ඩායමක් හෝ උනන්දු වූයේ නැත.

වූහ. එහිදි ඔවුන් තිදෙනා සඳහාම ඉන්දීය රුපියල් ලක්ෂ 50 බැගින් වූ මූලික ලන්සු ඉදිරිපත් වී තිබිණ. කෙසේ වුවත් ඔවුන්ගේ නම් වෙන්දේසියට ඉදිරිපත් කරන විට ඔවුන් වෙනුවෙන් එක් ලන්සුවක් හෝ තැබීමට කණ්ඩායම් හිමිකරුවෝ ඉදිරිපත් නොවූහ. එබැවින් ඔවුන් තිදෙනා වෙන්දේසියේදී අළෙවි නොවූ ක්‍රීඩකයන් ගොන්නට එක් වූහ.

ක්‍රිස් මොරිස් මින් පෙර අවස්ථාවකදීද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම්වලටද ක්‍රීඩා කළ ඔහු, අවසන් වරට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළේය.

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජැමීසන්ද ඉන්දීය රුපියල් කෝටි 15 කට අළෙවි වූ අතර එම මුදලට ඔහුව මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වූයේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිමිකරුවෝය. එහි විශේෂත්වය වූයේ ජැමීසන් සඳහා නියම කර තිබූ මූලික ලන්සුවද ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක් වීමය. මෙය ජැමීසන්ගේ මංගල අයි.පී.එල්. තරගාවලියයි.

ඉන් නොනැවතුන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිමිකරුවන් ඉන්දීය රුපියල් කෝටි 14.25 ක මුදලක් වැය කරමින් ඕස්ටේ්‍රලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ගේ සේවයද තම කණ්ඩායමට ලබාගත්තේය. මින් පෙර දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම්වලට ක්‍රීඩා කළ මැක්ස්වෙල්, බැංගලෝර් කණ්ඩායම සමග එක්වන පළමු අවස්ථාව මෙයයි. රෝයල් චැලෙන්ජර්ස් පිල වෙනුවෙන් මෙතෙක් කලක් ක්‍රීඩා කළ ඕටේ්‍රලියානු පිලේ හිටපු නායක ස්ටීවන් ස්මිත් ලක්ෂ 220 ක මුදලක් දී දිල්ලි කැපිටල්ස් පිල විසින් මිලදී ගන්නා ලදි.

වෙන්දේසියේදී ඉහළම මිලකට අළෙවි වූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වීමට තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිෂ්නප්පා ගෞතම් සමත් විය. ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මූලික ලන්සුවක් නියම වී තිබූ 32 හැවිරිදි ගෞතම්ගේ සේවය තම කණ්ඩායමට ලබාගැනීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෝ කෝටි 9.25 ක මුදලක් වැය කළහ.

ඔවුන්ට අමතරව ඕස්ටේ්‍රලියානු වේග පන්දුයවන ක්‍රීඩක රිලී මෙරිඩිත් ඉන්දීය රුපියල් කෝටි 8 ක මුදලකට පන්ජාබ් කිංග්ස් කණ්ඩායමටත්, එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලී ඉන්දීය රුපියල් කෝටි 7 ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටත් අළෙවි වූහ.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන් ඉන්දීය රුපියල් කෝටි 5.25 ක මුදලකට මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හිමිකරුවෝ සමත් වෙද්දී, එම මුදලටම ශාරුක් ඛාන් නම් නවක ක්‍රීඩකයකු මිලදී ගැනීමට බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා සම හිමිකාරීත්වය දරන පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කණ්ඩායම ඉදිරිපත් විය.

කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ නම්දැරූ ක්‍රීඩකයන් වන ඇලෙක්ස් හේල්ස්, ජේසන් රෝයි, අදිල් රෂීඩ් (එංගලන්තය), එවින් ලුවිස්, ශෙල්ඩන් කොට්්‍රල්, ඩැරන් බ්‍රාවෝ (බටහිර ඉන්දීය කොදෙව්), ඒරන් ෆින්ච්, ඇලෙක්ස් කේරි, ෂෝන් මාෂ්, මානස් ලැබුෂේන්, මැතිව් වේඩ් (ඕස්ටේ්‍රලියාව), ඉෂ් සෝධි, කෝරි ඇන්ඩසන්, මාටින් ගප්ටිල්, මිචෙල් මැක්ලෙනගන් (නවසීලන්තය) වැනි ප්‍රධාන පෙලේ ක්‍රීඩකයෝ රැසක් වෙන්දේසියේදී අළෙවි නොවූහ.


වෙන්දේසියේ පළමු අදියරේදී එක් එක් කණ්ඩායම් විසින් මිලදී ගන්නා ලද ක්‍රීඩකයෝ

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම
නේදන් කූල්ටර් නයිල් (ලක්ෂ 500), ඇඩම් මිල්න් (ලක්ෂ 320), පියුෂ් චවුලා (ලක්ෂ 240), ජේම්ස් නීෂම් (ලක්ෂ 50), යුද්විර් චාරක් (ලක්ෂ 20), මැක්‍රො ජැන්සන් (ලක්ෂ 20), අර්ජුන් ටෙන්ඩුල්කාර් (ලක්ෂ 20)

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම
ග්ලෙන් මැක්ස්වෙල් (ලක්ෂ 1425), සචින් බේබි (ලක්ෂ 20), රාජත් පැටිදර් (ලක්ෂ 20), මොහොමඩ් අසාරුදීන් (ලක්ෂ 20), කයිල් ජැමේසන් (ලක්ෂ 1500), ඩැනියෙල් ක්‍රිස්ටියන් (ලක්ෂ 480), කේ.එස්. භාරත් (ලක්ෂ 20), සුයෂ් ප්‍රභූදේසායි (ලක්ෂ 20)

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම
ජේ රිචඩ්සන් (ලක්ෂ 1400), ශාරුක් ඛාන් (ලක්ෂ 525), ඩේවිඩ් මැලන් (ලක්ෂ 150), රිලී මෙරෙඩිත් (ලක්ෂ 800), මොයිසස් හෙන්රික්ස් (ලක්ෂ 420), ජලාජ් සක්සේනා (ලක්ෂ 30), උට්කාර්ෂ් සිං (ලක්ෂ 20), ෆැබියන් ඇලන් (ලක්ෂ 75), සෞරබ් කුමාර් (ලක්ෂ 20)

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම
සකිබ් අල් හසන් (ලක්ෂ 320), ශෙල්ඩන් ජැක්සන් (ලක්ෂ 20), වයිභාව් ඇරෝරා (ලක්ෂ 20), කරුන් නායර් (ලක්ෂ 50), හර්බජාන් සිං (ලක්ෂ 200), බෙන් කටින් (ලක්ෂ 75), වෙන්කටෙෂ් අයියර් (ලක්ෂ 20), පවන් නේගි (ලක්ෂ 50)

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම
ස්ටීව් ස්මිත් (ලක්ෂ 220), උමේෂ් යාදව් (ලක්ෂ 100), රිපාල් පටෙල් (ලක්ෂ 20), විෂ්ණු විනෝද් (ලක්ෂ 20), ලුක්මන් මෙරිවාලා (ලක්ෂ 20), එම්. සිද්ධාර්ත් (ලක්ෂ 20), ටොම් කරන් (ලක්ෂ 525), සෑම් බිලිංග්ස් (ලක්ෂ 200)

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම
මුයින් අලී (ලක්ෂ 700), කේ. ගෞතම් (ලක්ෂ 925), චෙතේෂ්වර් පුජාරා (ලක්ෂ 50), හරිෂංකර් රෙඩ්ඩි (ලක්ෂ 20), භගත් වර්මා (ලක්ෂ 20), හරි නිෂාන්ත් (ලක්ෂ 20)

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම
ජගදීෂ සුචිත් (ලක්ෂ 30), කේදර් ජාදේව් (ලක්ෂ 200), මුජිබුර් රහමන් (ලක්ෂ 150)

- 036


අදහස් (0)

ක්‍රිස් මොරිස්ට කෝටි 44 ක ලංසුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.