Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් මුල් පුටුව ඉල්ලන සටන ඇරඹෙයි

ක්‍රිකට් මුල් පුටුව ඉල්ලන සටන ඇරඹෙයි

දමින්ද විජේසූරිය - 2021 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය සඳහා නාම යෝජනා බාරගැනීම අද (24 වැනිදා) පස්වරු 3.30 ට අවසන් විය. ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු අපේක්‍ෂාවෙන් පාර්ශ්ව හතරකින් නාම යෝජනා බාර දී ඇති නමුත් ඉන් එකක් ‘ඡායා’ පාර්ශ්වයක් වෙයි.

සභාපති තනතුර සඳහා ශම්මි සිල්වා, කේ. මතිවානන්, මොහාන් ද සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු සභාපති තනතුර සඳහා ඉදිරිපත් වී සිටිති. එහෙත් මොහාන් ද සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් සභාපති තනතුර සඳහා ඉදිරිපත්ව ඇත්තේ ‘ඡායා’ පාර්ශ්වයකිනි.

මේ අතර බත්තරමුල්ලේ සීලරතන හිමියෝද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති තනතුරක් වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. උන්වහන්සේ නාමයෝජනා ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාතේ, වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරන බව පවසමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් වෙනුවෙන් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් ඉදිරිපත් වූ පළමු වැනි අවස්ථාව මෙයයි. උන් වහන්සේ පසුගිය ජනාධිපතිවරණ තුනකදීම ජනාධිපති තනතුර අපේක්‍ෂා කරමින්ද තරග වැදුණහ.

පසුගිය දශක දෙකේදීම දැකගන්නට හැකිවූ පරිදි, (1997 සිට මේ දක්වා) ක්‍රිකට් නිලවරණයේදී ඡායා පාර්ශ්වය විසින් සිය නාමයෝජනා ඉල්ලා අස්කරගනු ලැබුවහොත් සටන පවතින්නේ දෙපාර්ශ්වයක් අතරේය. කෙසේ වෙතත් මතිවානන් පාර්ශ්වයෙන් ඉදිරිපත් වන්නේ තනතුරු 3 ක් සඳහා පමණි. “ලොක්කෝ තුන්දෙනා” යයි නම්කරනු ලැබ ඇති මේ තිදෙනා සභාපති තනතුරටත් (කේ. මතිවානන් මහතා), ලේකම් තනතුරටත් (නිශාන්ත රණතුංග මහතා) සහ උප සභාපති තනතුරකටත් (බන්දුල වර්ණපුර මහතා) ඉදිරිපත් වී සිටිති.

වත්මන් සභාපති ශම්මි සිල්වා  මහතාගේ පාර්ශ්වය විසින් තනතුරු 7 ක් සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. එහෙත් එම පාර්ශ්වය වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කිරීමේදී කිසියම් අපේක්‍ෂකයකු නිලවරණය සඳහා නුසුදුස්සෙකු යයි නම්කරනු ලැබුවහොත් යන අනියත බියක් හේතුවෙන් එම හිස්තැන් පිරවීම සඳහා ‘ඡායා’ පාර්ශ්වයක්ද නාමයෝජනා බාර දී තිබේ. මෙම ඡායා පාර්ශ්වයට ඇතුළත් වන්නේද ප්‍රධාන අපේක්‍ෂක ලයිස්තුවේ අපේක්‍ෂකයන්ම වන නමුත් ඡායා පාර්ශ්වය වෙනුවෙන් වෙනත් තනතුරු සඳහා ඔව්හු ඉදිරිපත් වී සිටිති.

මෙම තත්ත්වය අනුව මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සත්‍ය වශයෙන්ම සටන පවතින්නේ දෙපාර්ශ්වයක් අතරය.

නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම ඊයේ අවසන් වූවත් මැයි මස 20 වැනිදා නිලවරණය පැවැත්වෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කෙරෙන්නේ මාර්තු මස 15 වැනිදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ හේතු දැක්වීමෙන් පසුවය. එය බොහෝ විට අභියාචනාධිකරණයේ නියෝගය මත තීරණය කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත ප්‍රවීණයෝ 12 දෙනෙක් පසුගිය 15 වැනිදා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළහ.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු කිහිපයකම කටයුතු කළ, දෙවතාවක්ම ඒවායේ ලේකම්වරයා ලෙසින්ද කටයුතු කළ කුෂිල් ගුණසේකර මහතා කියා සිටියේ පවතින ඡන්ද ක්‍රමය වෙනස් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නයි ක්‍රීඩා අමාත්‍යවරයාට නියෝග කරන ලෙස තමන් ඇතුළු 12 දෙනෙක් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි බවයි. එසේ නොකිරීමට නම් මාර්තු මස 15 වැනිදා අභියාචනාධිකරණයට පැමිණ ඒ සඳහා හේතු දක්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ එහි විධායක කමිටුවටත් අභියාචනාධිකරණය පසුගිය 15 වැනිදා නොතීසි නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ හිටපු අතුරු කමිටු සභාපතිවරු සිව්දෙනෙක්, හිටපු ටෙස්ට් ක්‍රීඩකයෝ දෙදෙනෙක්, හිටපු අතුරු කමිටු ලේකම්වරු දෙදෙනක් මෙන්ම 1996 ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි ආනා පුංචිහේවා මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාත්, විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක් මහතාත් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කළ 12 දෙනා අතරට එක්වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට පෙර ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යයි අභියාචනාධිකරණය හමුවට ගොස් සිටියද ඒ වෙනුවෙන් කරුණු දැක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති නිලධාරීන්ට බාර කටයුත්තක් බවත්, තමන් සුපුරුදු පරිදි නිලවරණයට සූදානම් වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු අවධාරණය කර  සිටිති. ඒ අනුව තිදෙනකුගෙන් සමන්විත නිලවරණ කමිටුව හමුවේ ඔව්හු නාමයෝජනා ඉදිරිපත් කළහ.


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් ඉදිරිපත් වූ නාමයෝජනා

ශම්මි සිල්වා පාර්ශ්වය
සභාපති තනතුර - ශම්මි සිල්වා මහතා
උප සභාපති නතතුරු 2 යි - රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු
ප්‍රධාන ලේකම් - මොහාන් ද සිල්වා මහතා
උප ලේකම් - ක්‍රිශාන්ත කපුවත්ත මහතා
භාණ්ඩාගාරික - ලසන්ත වික්‍රමසිංහ මහතා
උප භාණ්ඩාගාරික - සුජීව ගොඩලියැද්ද මහතා


ඡායා පාර්ශ්වය
සභාපති - මොහාන් ද සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු
උප සභාපතිවරු - නලීන් අපෝන්සු සහ සමන්ත දොඩන්වල යන මහත්වරු
ප්‍රධාන ලේකම් - බන්දුල දිසානායක සහ නලීන් අපෝන්සු යන මහත්වරු
උප ලේකම් - ශම්මි ප්‍රසන්න ගුණසේකර මහතා
භාණ්ඩාගාරික - සුජීව ගොඩලියැද්ද මහතා
උප භාණ්ඩාගාරික - ඒ. කුමාර මහතා


මතිවානන් පාර්ශ්වය
සභාපති - කේ. මතිවානන් මහතා
උප සභාපති - බන්දුල වර්ණපුර මහතා
ප්‍රධාන ලේකම් - නිශාන්ත රණතුංග මහතා


ස්වාධීන
උප සභාපති - බත්තරමුල්ලේ සීලරතන හිමි

 


අදහස් (0)

ක්‍රිකට් මුල් පුටුව ඉල්ලන සටන ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.