Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කණ්ඩායමක් හැදෙන්න සථාවරත්වය ඕනේ

කණ්ඩායමක් හැදෙන්න සථාවරත්වය ඕනේ

editorial - 2019 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ඒ වගකීම සහ යුතුකම වඩාත් හොඳින් තේරුම් ගෙන ඇති බවත් එය ඉටු කිරීමට සියයට දෙසියකින් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

දකුණත් පිතිකරු 32 හැවිරිදි මැතිව්ස් ටෙස්ට් තරග 80 කදී ඉනිමක් සඳහා ලකුණු 44.79 ක සාමාන්‍යයක් පවත්වාගමින් ලකුණු 5554 ක් රැස්කර තිබේ.  නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ‘ලංකාදීප’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.  

● ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ වර්තමාන ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා. ඔබ ඔබේ වගකීම හදුනාගෙන තිබෙනවද? ඒ සඳහා කටයුතු කරනවද?

අපි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා වගේ නොවෙයි වසර කීපයක් කණ්ඩායමට ක්‍රීඩා කරන විට තමන්ගේ වගකීම වෙනස් වෙනවා. ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන තරගවලට හැටියට වගකීම වෙනස් වෙනවා. ඊට අමතරව කණ්ඩායමේ අවශ්‍යතාවය අනුවත් වෙනස් වෙනවා.

පළමු අවුරුදු කීපයේදී ක්‍රීඩා කරන්නෙ කිසිම පීඩනයක් නොමැතිව. ඒ ලාබාල කාලයේ ක්‍රීඩා කරනවාට වඩා දැන් තියෙන තත්ත්වය වෙනස්.

විශේෂයෙන් කණ්ඩායම පීඩනයකට හසුවූ අවස්ථාවක, කලින් ඒ අවස්ථාවල හිටපු කෙනෙක් හැටියටත් එහිදී කණ්ඩායමට අවශ්‍ය ආකාරයට ක්‍රීඩා කරන්නෙ කොහොමද? කණ්ඩායමට වියයුත්තේ කුමක්ද කියන එක ගැන අපි කල්පනා කළ යුතුයි.

පළමු අවුරුද්ද දෙකේ වගේ නෙමෙයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වුණාම. අවස්ථාව අනුව අපේ ක්‍රීඩා විලාශය වෙනස් කරන්න ඕනෙ. සෙසු ක්‍රීඩකයන් සමඟ අවස්ථාව අනුව කළ යුතු දේ බෙදාගත යුතුයි. ඒ වගේම ලාබාල ක්‍රීඩකයන්ට අපේ අත්දැකීමස් දිය යුතුයි. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා.


● එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග තුනේදී ඔබ අසාර්ථක වුණාම කණ්ඩායම කඩා වැටුණා. ඉන් පසුව ඔබ සාර්ථක වුණාම ජයග්‍රහණය ලැබුණා. ඔබේ ඒ වටිනාකම ඔබ හදුනාගෙන තියෙනවද?

ඔව් අනිවාර්යෙන්. ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග තුනේ ආසාර්ථක වීම ගැන බොහොමත් කණගාටු වෙනවා. මම මැද පෙළ පිතිකරුවෙක් විදියට අසාර්ථක වුණා. එහිදී මම සාර්ථක වුණා නම් කණ්ඩායමත් සාර්ථක වෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මම ලකුණු ලබාගෙන තිබුණා නම් ඒක වෙනස් වෙන්න තිබුණා.

පළමු තරග තුනේදී අපි නිදහසට කරුණු දියයුතු නෑ. නමුත් ඒ දේශගුණය, තණතීරුවල තත්ත්වය. විශේෂයෙන් කාඩිෆ් තණතීරුවේ තණකොළ ගතිය.

අපි දැක්කා අපේ සෑම තරගයක්ම පිතිකරුවන්ට අමාරු තණතීරු. සෙසු තරග බැලුවත් ඒ තත්ත්වයමයි තිබුණෙ. ඇෆ්ගනිස්තානයට එරෙහිවත් අපි රැස් කළේ ලකුණු 201 යි. ඒ තණතීරුව ලේසි පහසු නොවීම නිසා ඔවුන්ට එයත් හඹායන්න බැරි වුණා.

ක්‍රීඩාව කියන්නෙ ඒක තමයි. හැම දවසෙම හැම තරගයකින්ම දෙයක් ඉගෙන ගන්නවා. හැම තරගයකදීම හොඳට කරන්න අවස්ථාව අඩුයි. සාර්ථක වන තරගයේ කණ්ඩායම ජය ලබන තත්ත්වයට ගෙන්න තමයි උත්සහ කරන්නේ. අපි හැම තරගයකට යන්නෙ පුළුවන් තරම් හොඳින් ක්‍රීඩා කරන්නයි. ඒත් සමහර අවස්ථාවලදී ඒ දේ කරගන්න අපහසු වෙනවා. එහෙම වුණොත් අපි එයින් අනාගත අවස්ථාවලට මුහුණ දීමට ඉගෙන ගතයුතුයි.  


● ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව තරගයේදී ඔබේ පිතිහරඹය තීරණාත්මක වුණා. එම තරගය ඔබේ සැළසුම සාර්ථක වුණා නේද?

එංගලන්තයේ වෙනදට ක්‍රීඩා කරන විට සෑම තරගයකදීම ලකුණු 300 ක් හෝ 350 අභිබවා යනවා. නමුත් ලෝක කුසලාන තරගාවලිය ගත්තොත් 90% ක් විතර තරග දෙපැත්තටම යෝග්‍යය එනම් පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට සියයට පනහ පනහ වගේ තමයි ක්‍රීඩා කෙරුණේ. ලකුණු 350 ක් රැස්කළ කණ්ඩායම් බොහෝම අඩුයි.

අපි සිතාගෙන ඉන්න ගොඩක් දේවල් වෙනස් වෙනවා. සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. ක්‍රීඩාව බොහොමත්ව අවිනිශ්චිතයි. අපි ක්‍රීඩා නොකර එළියෙ ඉදන් බලන විට වෙනස් දේවල් පේනවා. ඇත්තටම අපි ක්‍රීඩා කරන විට හිතෙනවා අපි හිතන දේ වැරදියි කියලා.

එහිදී විශේෂයෙන්ම ක්‍රීඩා කරන අයට ඒ තණතීරුව තේරුම් ගන්න හැකි වෙනවා. මම ඒ අවස්ථාවේදීම නායකයට ඇතුළට පණිවුඩයකුත් යැව්වා 250 ක් ලබාගත්තොත් අපිට ජය ගන්න පු`ළුවන්. එතරම් පිතිහරඹයට හිතකර එකක් නොවෙයි කියලා. මම හිතනවා ඒක තමයි තරගයේ තීරණාත්මක සාධයක වුණේ කියලා.


● ඔබ පසුගිය වසරේ නවසීලන්තයේදී ටෙස්ට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත් වුණා. දින පහක තරගයකදී ඔබ පරිස්සම් විය යුතුයි කියලා හිතන්නෙ නැද්ද?

මට කරන්න පුළුවන් දේ තමයි භෞතචිකිත්සකයන් කියන දේවල් පිළිපැදලා පුහුණුවීම් කරලා මට හැකි උපරිමයෙන්ම සූදානම් වෙලා ක්‍රීඩා කිරීමයි. ඒ වගේම උපරිමයෙන්ම ක්‍රීඩා කිරීම. එතනින් එහාට මම හිතන්නෙ නෑ කිසිම කෙනෙක්ට ආබාධ තියන දේවල් වළවක්වන්න පුළුවන් කියලා.

මම තරගයකට යන්නෙත් ආබාධයක් වෙයිද නැද්ද කියලා හිතලා නෙවෙයි. මම තරගයේ ක්‍රීඩා කරන්නෙ 100% ට 200% දීලා. අපිට විතරක් නෙවෙයි වෙනත් රටක කණ්ඩායමකට වුණත් ආබාධ කියන ඒවා නවත්වන්නම බෑ. අඩු කරගන්න තමයි පුළුවන්.

තේරීම් කමිටුවත් එක්කත් මම කථා කරලා තියෙන්නේ. තේරීම් කමිටු සාමාජිකයොත් බොහෝම අවබෝධයෙන් ඉන්නේ. මම හැම දේම කරන්නෙ ඔවුන් සමඟ කථා කරලයි. තේරීම් කමිටුව කිව්වෙත් දැන්මම පන්දු යවීම අවශ්‍ය නෑ කියලයි. මට පන්දු යවන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ටෙස්ට් තරගවල පන්දු යවන්නෙ නෑ.

විස්සයි20 තරගවලට හෝ පන්දු යවන්න පුළුවන් නම් මගේ ශරීරය ඒ මට්ටමට ගන්න පුළුවන්නම් ඒක හොඳයි.
තේරීම් කමිටුවත් එක්ක කථා කර කර තමයි යන්නේ. ඒ අතරතුරේදී ආබාධයක් ආවොත් ඇත්තටම කරන්න දෙයක් නෑ. නමුත් මට පුළුවන් දේ මම උපරිමයෙන්ම සූදානම් වෙලා උපරිමයෙන්ම තරගයේ ක්‍රීඩා කරන එක තමයි මම ඒ දේ කරනවා.


● එංගලන්තයේ ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ඔබ පැවසුවා ශ්‍රී ලංකා පිලේ කඩා වැටීමට පසුගිය කාලයේ වෙච්ච අතපසුවීම් බලපෑවා කියලා. ඔබට එම අතපසුවීම් පැහැදිළි කරන්න පුළුවන්ද?

ස්ථාවරත්වය කියන එක අනිවාර්යෙන්ම ඕනම කණ්ඩායමකට බලපානවා. ලෝක කුසලානයෙන් පසුව උනත් හොඳට කරපු රටවල් ඔක්කොම 20 ක් 25 ක් තෝරගෙන අවුරුදු හතරම ක්‍රීඩා කළා.

එහෙම නොවුණම ඒ කණ්ඩායම ස්ථාවර වෙන්නේ නෑනේ. අද ගහන කණ්ඩායම හෙට ගහන්නෙ නැත්නම්. හෙට ගහන කණ්ඩායම අනිද්දා ගහන්නේ නැත්නම් කණ්ඩායමක් කොහොද ස්ථාවර වෙන්නේ. එතනින් තමයි අපි ආරම්භ කළ යුත්තේ. 2017 වසරේ මම ඉවත්වීමෙන් පසුව නායකයොම හයක් විතර හිටියා. ඒ දේවල් තමයි බලපාන්නේ. ඒවා රහස් නොවයි හැමෝම දන්න දේවල්.

අනිවාර්යෙන්ම ඉදිරියට යන්න මේ දේවල් හදාගත යුතුයි. මම විශ්වාස කරනවා ඒ දේවල් වෙයි කියලා. වර්තමාන එක්දින කණ්ඩායම ගත්තොත් ඒ සියලුම දෙනාට ඊළඟ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න පුළුවන්. 25 ක සංචිතයක් තෝරාගෙන වසර තුනක් හතරක් ක්‍රීඩා කළා නම් සාර්ථක වෙනවා.

පොඞ්ඩක් ඉවසලා අපි ඒ දේවල්වලින් ඉදිරියට ගියා නම් අනිවාර්යෙන්ම අපිට හොඳ කණ්ඩායමක් ඉදිරියේදී හදාගන්න පුඵවන්.


● ආසියානු කුසලාන තරගාවලියේ අසාර්ථකත්වය හමුවේ එක රැයින් ඔබව නායකත්වයෙන් පමණක් නොව සංචිතයෙනුත් ඉවත් කළා. ඒ අවස්ථාව වන විට ඔබ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 60 ක් වැනි ඉහළ තැනක සිටියා. එහිදී ඔබ ක්‍රිකට් ආයතනයට කිව්වා මේකට මට පමණක් වගකියන්න බෑ කියලා. තවමත් ඒ ස්ථාවරයේ ඉන්නවද?

අනිවාර්යෙන්ම මම ඒ ස්ථාවරයේ ඉන්නවා. මම අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. හැමදාමත් ඒ ස්ථාවරයේ ඉන්නවා. ඒක ඇත්තටම අහනන් ඕනේ. ඒක ඇත්තටම තේරීම් කමිටු සභාපති ලැබ්රෝයි සහ පුහුණුකරු හතුරුසිංහ යන මහත්වරුන්ගෙන් තමයි අහන්න ඕනේ. මොකද වුණේ කියලා. කවුද ඒක පස්සෙ හිටියේ, එහෙම කෙනෙක් කවුරු හරි හිටිය නම් ඒක ඒ දෙපළ කියන්න ඕනේ.

ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක් ඇදලා ගත්තා නම් එවැනි දෙයක් කියන්න ශාරීරික යෝග්‍යතාව බලන ක්‍රම තියෙනවානේ එයින් එකක් අසමත් වෙන්න ඕනේ. මම එවැනි පරීක්‍ෂණයක් අසමත් වුණා නම් එතන ගැටලුවක් තියෙනවා. නමුත් මම අද වෙනකන් කරපු සෑම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක්ම සමත් වෙලා තියෙනවා. මම හිතන්නේ නෑ ඒ නිසා මම ෆිට් නෑ කියලා කාටවත් කියන්න පුළුවන් කියලා.


සංවාද සටහන: යොහාන් භාසුර

 


අදහස් (0)

කණ්ඩායමක් හැදෙන්න සථාවරත්වය ඕනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.