Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාවට ඉනිමක ජයක්

ඕස්ට්‍රේලියාවට ඉනිමක ජයක්

දමින්ද විජේසූරිය - 2019 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 5 ක පහසු ජයක් අත්කරගත් ඕස්ට්‍රේලියානුවෝ ඉනිමක ජයක් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් සංචාරක කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 340 ක් ලබාගත යුතුව තිබූ නමුත් පාකිස්තානුවෝ ලකුණු 335 කට දැවී ගියහ.

බාබර් අසාම් (104) සහ කඩුලු රකින්නා වූ මොහොමඞ් රිස්වාන් (95) තම පිල ඉනිමක පරාජයෙන් ගලවා ගැනීම සඳහා දැඩි ප්‍රයත්නයක නිරත වූහ. ඔවුන් දෙදෙනාගේ දැවීයාම් වලින් පසුව පා දඟ පන්දු යවන යසීර් ෂා සිය වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලබාගත් නමුත් ඔහුටද එය කළ නොහැකි විය.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ අප්‍රතිහත ධෛර්යය හේතුවෙන් පාකිස්තානුවන්ට කිසියම් ධෛර්යයක් ඇතිව දෙවැනි ටෙස්ට් තරගයට මුහුණ දීමේ වාතාවරණය උදා වී තිබේ.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 340 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිලේ පළමු කඩුලු තුනම ලකුණු 25 කට ඇද වැටුණ නමුත් බාබර් අසාම් දැවී යාමට පෙර එය කඩුලු 6 කට 226 දක්වා ගෙන ගියේය. අනතුරුව සටන ඇරඹූ රිස්වාන් දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව 300 පසුකර තිබිණ. එහෙත් පසුපෙළ පිතිකරුවන්ගේ උත්සාහය ලකුණු 335 දී නතර කිරීමට ජොස් හේසල්වුඞ් (63/4) සහ මිචෙල් ස්ටාක් (73/3) වගබලා ගත්හ.

අලංකාර පිතිකරුවකු වන බාබර් අසාම් මෑතකදී ඉතා හොඳින් දස්කම් අතර සිටින්නෙකි. ඉතාමත් හොඳින් ලකුණු අතර සිටියද පළමු ඉනිමේදී ඔහු දැවී ගියේ දුර්වල පහරකිනි. එහෙත් දෙවැනි ඉනිමේදී එහි වාඩුව ගත් අසාම් පැය 4 කට වැඩි කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 173 කට මුහුණ දුන්නේය. ඒවායින් 13 ක් හතරේ සීමාවට යැව්වේය.

ආරම්භක පිතිකරුවා වූ ශාන් මසූඞ් (42) සමග ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ බාබර් අසාම් කඩුලු රකින්නා වූ රිස්වාන් සමගින් එක්වී 6 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 132 ක් එක් කළේය. සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින රිස්වාන් දැඩි කැපවීමකින් යුතුව සිය ඉනිම දිගහැරියේය. සිය මංගල ටෙස්ට් ශතකය පෙනෙන තෙන් මානයේ සිටියදී හේසල්වුඞ්ගේ පන්දුවකට ‘අපර් කට්’ පහරක් ගැසීමට ගිය රිස්වාන් ශතකය අහිමි කරගත්තේය.

පාකිස්තානය පළමු ඉනිම - සියලුදෙනා දැවී 240
(ශාන් මසූඞ් 27, අසාර් අලී 39, අසාද් ශෆීක් 76, මොහොමඞ් රිස්වාන් 37, යසීර් ෂා 26, මිචෙල් ස්ටාක් 52/4, පැට් කමින්ස් 60/3, ජොෂ් හේසල්වුඩ් 46/2)

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - කඩුල්ලක් දැවී 312
(ඬේවිඞ් වෝනර් 154, ජෝ බර්න්ස් 97, මානස් ලැබුස්චේන්ජ් 185, මැතිව් වේඞ් 60, ට්‍රැවිස් හෙඞ් 24, ටිම් පේන් 13, නේතන් ලයන් 13, ශහීන් ෂා අෆ්රිඩි 96/2, යසීර් ෂා 205/4, හැරිස් සොහේල් 75/2)

පාකිස්තානය - දෙවැනි ඉනිම 335
(ශාන් මසූඞ් 42, බාබර් අසාම් 104, මොහොමඞ් රිස්වාන් 95, යසීර් ෂා 42, ශහීන් අෆ්රිඩි 10, මිචෙල් ස්ටාක් 73/3, පැටි කමින්ස් 69/2, ජොස් හේසල්වුඞ් 63/4)


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.