Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානුවෝ වාර්තාගත ජයක් ලබති

ඕස්ට්‍රේලියානුවෝ වාර්තාගත ජයක් ලබති

editorial - 2020 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර මුම්බායිහි වන්කඬේ ක්‍රිඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (14 වැනිදා) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 256 ක ඉලක්කයක් හඹගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 37.4 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඬේවිඩ් වෝනර් (නොදැවී 128) සහ නායක ඒරන් ෆින්ච් (නොදැවී 110) ශතක ලබාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයගහණය කරා ගෙන ගියහ.

පන්දු 112 කට මුහුණදුන් වෝනර් හයේ පහර 3 කින් සහ හතරේ පහර 17 කින් සිය 18 වැනි එක්දින ශතකය අලංකාර කළ අතර පන්දු 114 කට මුහුණදුන් ෆින්ච්ගේ 16 වැනි එක්දින ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින් සමන්විත විය.

ඕස්ට්‍රේලියානු පිතිකරු යුගලයක් එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ තෙවැනි ඉහළම සම්බන්ධතාව මෙය වන අතර මින් පෙර වෝනර් සහ ට්‍රැවිස් හෙඩ් එක්ව ලකුණු 284 ක සම්බන්ධතාවක්ද, වෝනර් සහ ස්ටීවන් ස්මිත් එක්ව ලකුණු 260 ක සම්බන්ධතාවක්ද ගොඩගැනීමට සමත්වී ඇත.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී පිට පිටම ලැබූ සිවුවැනි ජයග්‍රහණය මෙය වන අතර ඉන්දීය කණ්ඩායම වන්කඬේ ක්‍රීඩාංගණයේදී පිට පිටම පරාජයට පත්වූ තෙවැනි තරගයද මෙය විය. එදා මෙදා තුළ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කණ්ඩායමක් එක් කඩුල්ලක් හෝ නොදැවී හඹා ගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 255 ක් ලබාගත් අතර ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 91 කදී ලකුණු 74 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගිනි.

ලොකේෂ් රාහුල් (47) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 136 කදී ලකුණු 121 ක සම්බන්ධතාවත් ගොනැගීමටද ධවාන් සමත් වූ අතර හතරේ පහර 4 ක් සමග ලකුණු රැස්කරමින් සිටි රාහුල්, අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

රිෂාබ් පාන්ට් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක්ද, රවින්ද්‍ර ජදේජා පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ මිචෙල් ස්ටාක් ලකුණු 56 කට කඩුලු 3 ක් දවාගත් අතර ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ කිරීම සඳහා එහිදී ස්ටාක්ට අගනා සහායක් දුන් කේන් රිචඞ්සන් සහ පැටි කමින්ස් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.  


ඉන්දියාව - ඕවර 49.1 කදී සියලු දෙනා නොදැවී 255
(ශිකර් ධවාන් 74, ලොකේෂ් රාහුල් 47, විරාට් කෝලි 16, රිෂාබ් පාන්ට් 28, රවින්ද්‍ර ජදේජා 25, කුල්දීප් යාදව් 17, මිචෙල් ස්ටාක් 56/3, කේන් රිචඞ්සන් 43/2, පැට් කමින්ස් 44/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 37.4 කදී කිසිවකු නොදැවී 258
(ඩේවිඩ් වෝනර් නොදැවී 128, ඒරන් ෆින්ච් නොදැවී 110)


-036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ වාර්තාගත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.