Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානුවෝ කඩුල්ල පනිති

ඕස්ට්‍රේලියානුවෝ කඩුල්ල පනිති

editorial - 2019 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක ඒරන් ෆින්ච්ගේ පෙරමුණ ගැනීමෙන් සවිමත් වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී එංගලන්ත පිල ලකුණු 64 කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කර ගත්හ. මෙතෙක් ක්‍රීඩා කළ තරග 7 කින් තරග 6 ක් ජයගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 12 ක් ලබා ගනිමින් පළමු කඩුල්ල පැනගත්හ.

යම් හෙයකින් ප්‍රසාද ලකුණු සමවන අවස්ථාවක් ඇති වුවද ඕස්ට්‍රේලියානුවන් සතු වාසිය වන්නේ ජයග්‍රහණ 6 යි.

මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට ඕවර 44.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 221 කි. ලකුණු 89 ක් ලබාගත් බෙන් ස්ටෝක්ස් එංගලන්තය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ නමුත් ලකුණු 177 දී ස්ටෝක්ස් දැවී යාමෙන් ඕවර 7 කට පසුව එංගලන්ත ඉනිම නිමා විය. ආරම්භක පන්දු යවන්නන් වූ ජේසන් බෙහාන්ඩ්‍රොෆ් (44/5) සහ මිචෙල් ස්ටාක් (43/4) කඩුලු 9 ක් බෙදා ගනිමින් එංගලන්ත පිල විනාශ කළහ.

ග්ලෙන් මැක්ස්වෙල් සහ ඒරන් ෆින්ච් දෙදෙනාගේ සුසංයෝගයෙන් ක්‍රිස් වෝක්ස් දැවී ගිය ආකාරය                                                                                අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ට්විටර් ගිණුම අනුග්‍රහයෙනි 

තරගාවලිය ආරම්භයේදී බොහෝ තරග වලදී පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම් ඉතා පහසුවෙන් ලකුණු 300 සීමාව පසුකර ගිය නමුත් තරගාවලියට වර්ෂාවෙන් බාධා ඇතිවීම ආරම්භ වීමත් සමගම පිතිකරුවන්ගේ ලකුණු දඩයම තරමක් දුරට සීමා විය.

ඕස්ට්‍රේලියානු ඉනිමට ලැබුණු ආරම්භය සලකා බැලීමේදී සිය පරම පසමිතුරන් ලකුණු 285 දී නවතාගැනීමත් එංගලන්තය කළ කදිම සටනකි. ඉනිමේ 36 වැනි ඕවරය වන විට ඕස්ට්‍රේලියානු පිල කඩුලු 3 කට ලකුණු 185 ක් ලබා සිටියද ෆින්ච්ගේ දැවී යාමෙන් පසුව ලකුණු වේගය තරමක් අඩාල වූයේ වරින් වර කඩුලු දැවී යාමෙනි.

ඬේවිඞ් වෝනර් සමගම එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ ෆින්ච් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පළමු කඩුල්ල වෙනුවෙන් පිට පිටම ගොඩනැංවූ පස්වැනි අර්ධ ශතක සම්බන්ධතාවද එය විය.

ඉනිම ආරම්භ කරමින් පන්දුවට පහරදීම සඳහා වෝනර් පිටියට එද්දී නරඹන්නන් වෝනර්ට සරදම් සහගත හූවකින් සංග්‍රහ කළේ දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවා වූ බැවිනි. එහෙත් එයින් සසළ වූයේ වෝනර් නොවේ.

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවා වී වසරක ක්‍රිකට් තහනමකට මුහුණ දීමෙන් පසුව යළිත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිස සිටින වෝනර්ය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා ලකුණු 500 ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවාද වී සිටී. එහෙත් වෝනර් දැවී ගිය පසුව, ඔහු නැවත ක්‍රීඩාගාරයට යන විටත් නරඹන්නෝ ඔහුට හූ කීම නතර නොකළහ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය ලබා සිටින්නේ වෝනර්ට වඩා ලකුණු 4 ක් පසුපසින් සිටින ඕස්ට්‍රේලියානු නායකයායි.

පන්දු 61 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ෆින්ච් ලකුණු වේගය වැඩිකළේ මුයින් අලි හමුවේ ගැසූ අලංකාර හයේ පහරකිනි. පන්දු 116 කින් ශතකයක් ලබා ෆින්ච් දැවී යන විට හතරේ පහර 11 ක් සහ හයේ පහර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත් වී තිබිණ. ෆින්ච් දවාගත් ජොෆ්රා ආචර් සිය 16 වැනි කඩුල්ල දවාගනිමින් මෙවර ලෝක කුෂලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වී සිටී.

එංගලන්ත පිලට අවසන් මොහොතේදී එක්වූ ජොෆ්රා ආචර් ලෝක කුසලාන තරගාවලියේ ඇදහිය නොහැකි විස්කම් කරමින් සිටී. සෑම තරගයකදීම කුමක් හෝ විශේෂ යමක් කරන මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා ස්ටීවන් ස්මිත්ගේ උඩපන්දුව රැකගත්තේ ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායකයා තමන් කෙරෙහිම කෝප ගන්වමිනි. ලකුණු 38 ක් ලබාගත් ස්මිත් ආපසු ක්‍රීඩාගාරයට ගියේ හූ හඬ මැද වුවත් ඒ ඔහු දකුණු අප්‍රිකාවේදී කළ පන්දුව පළුදු කිරීම හේතුවෙනි.

ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 20 කින් පරාජය වූ නමුත් එංගලන්ත කණ්ඩායමේ වෙනසක් කර නොතිබිණ.

මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු පිල ජයගතහොත් අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කර ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට එය ප්‍රමාණවත් වන නමුත් එංගලන්තයට එය තරමක් අපහසු ව්‍යායාමයක් වනු ඇත. මෙම තරගයේදී පරාජය වුවහොත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ඉන්දියාව සහ නවසීලන්තය පරාජය කිරීමට එංගලන්තයට සිදුවනු ඇත.

ඕස්ට්‍රේලියාව- ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 285 යි

(ඒරන් ෆින්ච් 100, ඬේවිඞ් වෝනර් 53, උස්මන් කවාජා 23, ස්ටීවන් ස්මිත් 38, ග්ලෙන් මැක්ස්වෙල් 12, ඇලෙක්ස් කේරි නොදැවී 38, ක්‍රිස් වෝක්ස් 46/2)

එංගලන්තය - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 221

(ජොනී බෙයාර්ස්ටෝ 27, බෙන් ස්ටෝක්ස් 89, ජොස් බට්ලර් 25, ක්‍රිස් වෝක්ස් 26,  අදිල් රෂීඞ් 25, ජේසන් බෙහාන්ඩ්‍රොෆ් 44/5, මිචෙල් ස්ටාක් 43/4)


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ කඩුල්ල පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.