Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානුවෝ අත්වැරදීම් අත්හරිති

ඕස්ට්‍රේලියානුවෝ අත්වැරදීම් අත්හරිති

editorial - 2019 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

 

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු තණතීරු නියමිත ප්‍රමිතියට අයත් ඒවා නොවේ යයි කළමණාකරු අසන්ත ද මෙල් මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණිලි කර සිටියේය.

ශ්‍රී ලංකා කළමණාකරුවා මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයාද වන අසන්ත ද මැල් මහතාගේ පැමිණිල්ල අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවතට වීසි කළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා පිලේ අද (15 වැනිදා) තරගය සඳහා ලන්ඩන් ඕවල් පිටියේදී සකසා දුන් තණතීරුවේදී ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 7 ක් පමණක් දැවී ලකුණු 334 ක් ලබාගත්හ. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවෝ නියමිත ඕවර සංඛ්‍යාව නිමා වීමටත් පෙරම ලකුණු 247 කට දැවී යමින් ලකුණු 87 ක පරාජයක් උරුම කරගත්හ.

අත්වැරදීම් අත්හළ ඕස්ට්‍රේලියානුවෝ අද (15 වැනිදා) ලබාගත් මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය අත්පත් කරගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානයේම නතර විය.

ලකුණු 335 ඉලක්කයක් කරා යාමේ උත්සාහයේදී දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමට සවිමත් අඩිතාලමක් සකසා දුන්නේ පන්දු 93 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩ නඟමිනි. ඒ වන විට දෙදෙනාගේම ප්‍රහාරාත්මක වේගය 100්‍ර ඉක්මවා තිබුණ නමුත් මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් කුසල් පෙරේරාගේ පිත්තත් පා ආවරණයත් අතරින් රිංගා කඩුල්ලට කඩා වැදුණේ ශ්‍රී ලංකා බලාපොරොත්තු පුපුරුවා හරිමිනි.

අවස්ථානුකූලව ලබාගත් හතරේ පහර කිහිපයක්ද එක්කරගන්නා අතරේ නමුත් දිමුත් කරුණාරත්න තනි ලකුණු සහ ද්විත්ව ලකුණු ද ලබාගනිමින් ලකුණු පුවරුව ක්‍රියාත්මකව තැබීය. එහෙත් අංක 3 පිතිකරුවා වූ ළහිරු තිරිමාන්නගේ මන්දගාමී පිතිහරඹය හේතුවෙන් වේග ප්‍රස්ථාරයේදී ශ්‍රී ලංකා පිල පහළට වැටිණ. ලකුණු 16 ක් වෙනුවෙන් පන්දු 26 ක් කා දැමූ තිරිමාන්නගේ ආකල්පය හේතුවෙන් දිමුත් කරුණාරත්නගේත් ප්‍රහාරාත්මක වේගයත් පහළ වැටිණ. 15 වැනි ඕවරය සහ 30 වැනි ඕවරය අතර ශ්‍රී ලංකා පිලට එක්වූයේ ලකුණු 64 ක් පමණි.

නායකත්වයට පත්වීමෙන් පසුව ක්‍රීඩා කළ තරග හතරෙන් තුනකදීම අර්ධ ශතක ලබාගත් දිමුත් කරුණාරත්නට ලබාගත හැකිව තිබූ අගනා ශතකයක් අහිමි වූයේ ග්ලෙන් මැක්ස්වෙල්ගේ අති විශිෂ්ට පන්දු රැකීමක් හේතුවෙනි. කරුණාරත්න මුහුණ දුන් පන්දු 108 න් 9 ක් හතරේ සීමාව කරා ගොස් තිබිණ.

කරුණාරත්න පිටියෙන් ඉවත් වීමෙන් ඕවර 9.3 ක් ඇතුළත පිතිකරුවන් හත්දෙනකු දැවී ගියේ ශ්‍රී ලංකා පිලට තිබූ සියලු බලාපොරොත්තු සීසීකඩ විසුරුවා හරිමිනි. මැද පෙළ පිතිකරුවන් වූ ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන යන සිව්දෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 58 කි. ලකුණු 55 කට කඩුලු 4 ක් දවාගත් මිචෙල් ස්ටාක් ඔවුන් සිව්දෙනාගෙන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යවමින් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නේය.

කාසියේ වාසිය අහිමිව පළමුව පන්දුවට පහර දීමට සිදුවූ ඕස්ට්‍රේලියානුවන් 40 වැනි ඕවරය නිමා වන විට කඩුලු දෙකකට 237 ක් පමණි. එහෙත් අවසන් ඕවර 10 දී ඔවුහු ලකුණු 97 ක් උදුරා ගත්හ. 41 වැනි ඕවරයේද නුවන් ප්‍රදීප් හමුවේ ලකුණු 18 ක් ලබාගත් ෆින්ච් සහ ස්මිත් දෙදෙනා නුවන්ගේ ඊළඟ ඕවරයේදී තවත් ලකුණු 22 ක් ලබාගත්හ. එක ළඟ ඕවර දෙකකදී ඒරන් ෆින්ච් සහ ස්ටීවන් ස්මිත් දෙදෙනාම දැවී යාමත්, ඉසුරු උදානගේ අති විශිෂ්ට දුවද්දී දවාගැනීම් දෙකත් නිසා ලකුණු ලබාගැනීමේ වේගය අඩාල විය.

අවසන් ඕවර 10 දී ඕස්ට්‍රේලියානු පිලේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 18-14-6-5-22-4-4-7-2-10 පරිද්දෙනි.
ඉනිම ආරම්භයේ සිටම ඬේවිඞ් වෝනර් පාලනය කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවද  ඒරන් ෆින්ච්ගේ ක්‍රමානුකුල ආක්‍රමණයත් ස්ටීවන් ස්මිත්ගේ උපක්‍රමශීලී ලකුණු රැස්කිරීමත් හේතුවෙන් ඕස්ට්‍රේලියානුවෝ පහසුවෙන්ම ලකුණු 300 කඩයිම පසුකර ගියහ. ඉසුරු උදානගේ වමතින් ගිලිහී, පිට ඉන්නෙන් ඉවතට ඇදෙන පන්දුව සිය දෙපා අතරට ගත් ස්ටීවන් ස්මිත් එය ඩීප් ස්ක්වෙයාර් ලෙග් සහ මිඞ් විකට් අතරින් හතරෙ සීමාවට යැවීය. ඇතැම් අවස්ථාවලදී පන්දු යවන්නාට  සිතාගත නොහැකි අයුරින් එක්ස්ට්‍රා කවර්ස් හෝ බැක්වර්ඞ් පොයින්ට කලාපය හරහා පන්දුව හතරේ සීමාවට ගියේය.

ඒරන් ෆින්ච් කළේ සැලසුම් සහගත ආක්‍රමණයකි. 10 වැනි ඕවරයේ සිට 20 වැනි ඕවරය දක්වා පන්දු 30 කින් ලකුණු 20 ක් පමණක් ලබාගත් ෆින්ච් ඒ අතරවාරයේදී එකම හතරේ පහරක් හෝ ගැසුවේ නැත. ඒ වෙනුවට ඔහු තමාගේ කඩුල්ල ආරක්‍ෂා කරගැනීමට උත්සුක විය. මිලින්ද සිරිවර්ධන හමුවේ අලංකාර ‘ඉන්සයිඞ්-අවුට්’ පහරකින් පන්දුව නරඹන්නන් අතරට යැවමින් සිය ශතකය කරා අවතීර්ණ වූ ෆින්ච් සිය ඉනිම නිමා කළේ පන්දු 132 කින් ලකුණු 153 ක් ලබා ගනිමිනි. හතරේ පහර 15 ක් සහ හයේ පහර 5 ක් ෆින්ච්ගේ ඉනිමට ඇතුළත් විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇත්තේ ‘අවාසනාවන්තයා’ ලේබලයයි. ඇතැම්විට ශ්‍රී ලංකාව සහභාගි වීමට සූදානමින් සිටි තරග දෙකක්ම වර්ෂාවට සේදී යාම මෙම ලේබලය ඇලවීමට හේතුව වූවා වන්නට ඇත. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානුවන්ගේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකාව පරාජය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණට පැන ගැනීමයි.

පසුගිය වසර 16 ක් පුරා පැවැති ලෝක කුසලාන තරගවලි හතරකදීම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම 2007 දී සහ 2011 දී අවසන් මහ තරගයටත් සුදුසුකම් ලබාගත්හ. එහෙත් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණඩායමට ලැබුණේ අවාසනාවන්ත ආරම්භයකි.

තිසර පෙරේරා සිය දෙවැනි ඕවරයේදීම ෆින්ච්ගේ මැද ඉන්න එල්ලයේ යැවූ පන්දුව පිතිකරුවාගේ පා ආවරණයේ වැදිණ. පෙරේරා කළ ඉල්ලීම විනිසුරු රිචඞ් ඉලිංවර්ත් මහතා විසින් ප්‍රතික්ෂේප කළ නමුත් දිමුත් තුන්වැනි විනිසුරුවරයාගේ සහාය ඉල්ලා සිටියේය. පන්දුවේ ගමන් මග නිර්ණය කෙරෙන තාක්‍ෂණය අනුව පන්දුව කඩුල්ලේ වදින බව පෙනෙන්නට තිබුණද සැකයේ වාසිය විනිසුරුවරයාට හිමිවන බැවින් විනිසුරුවරයාගේ තීරණයම සම්මත වූයේය.

තරගයේ 13 වැනි ඕවරය වන විට ඕස්ට්‍රේලියානුවෝ කිසිවකු නොදැවී ලකුණු 64 ක් ලබා සිටියහ. විස්තර කථනයේ යෙදී සිටි ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායකයකු වන මාක් ටේලර් (1996 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඕස්ට්‍රේලියානු පිලේ නායකයා) කියා සිටියේ ඕස්ට්‍රේලියානුවන් මෙම තරගයේදී ලකුනු 350 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තුව සිටින බවයි.

එසේ වුවත් අවසන් ඕවර 10 ඇතුළතදී ලසිත් මාලිංග සහ ඉසුරු උදාන දෙදෙනාගේ ධෛර්යවත් පන්දු යැවීම හේතුවෙන් ලකුණු 350 සීමාවෙන් මෙපිට ඕස්ට්‍රේලියානුවන් නවතා ගැනීමට ශ්‍රී ලංකා නායකයාට හැකිවිය.

 

 
 

අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ අත්වැරදීම් අත්හරිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.