Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කාලසටහනේ ආරම්භය තවත් ඈතට ඇදෙයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කාලසටහනේ ආරම්භය තවත් ඈතට ඇදෙයි

editorial - 2020 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අගෝස්තු මස 9 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් කල්දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙම තරගාවලිය කල්දැමීමත් සමගම ඕස්ට්‍රේලියානුවන්ගේ අන්තර්ජාතික තරග කාලසටහනේ ආරම්භය තවත් ඈතට ගොස් තිබේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා සිම්බාබ්වේ කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් දැමීමට ඉඩ ඇති බවට ඉඟි පළකරමින් මේ මස මුලදී කියා සිටියේ සිය කණ්ඩායම සැප්තැම්බර් මාසය වන විට නැවතත් තරග බිමට අවතීර්ණ වීමට සූදානම් වන බවය.  

අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිතරවී ඇත්තේ 2003-2004 වසරවලදීය. එහිදී දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වී තිබේ. පවතින වසංගත තත්වය හමුවේ ක්‍රීඩකයන්ගේ, තරග නිලධාරීන්ගේ සහ ස්වේඡ්චා සේවකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තරගාවලිය කල්දැමීමට සිම්බාබ්වේ සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල එකමතිකව තීරණය කළ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“ඕස්ට්‍රේලියාව සමග තරග වදින්න අපි හුගක් කැමැත්තෙනුයි හිටියේ. ඒත් මේ වෙලාවෙ තියෙන තත්වයත් එක්ක තරගාවලිය කල්දමනවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් නැහැ. තත්වය සාමාන්‍ය අතට හැරුණු වහාම තරගාවලිය පැවැත්වීම සඳහා නැවතත් දින යොදාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි සිම්බාබ්බේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩබලන කලමනාකාර අධ්‍යක්ෂ ගිවෙමෝරේ මකෝනි මහතා පවසයි.  

මේ වසර තුළ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වීමට නියමිතව තිබූ තරගාවලි අතරින් කොරෝනා වසංගතය නිසා කල් දමන ලද දෙවැනි තරගාවලිය මෙය වන අතර මින් පෙර ඉන්දීය තරගාවලියද දින නියමයකින් තොරව කල් දැමිණ. තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තාන කණ්ඩායම ජූලි සහ අගෝස්තු මාසවල සිම්බාබ්වේ දේශයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති නමුත් පවතින තත්වය හමුවේ එම තරගාවලියද කල් දැමීමට වැඩි ඉඩක් පවතී.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගය දෙකද කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණ අතර මෙම මාසයට යෙදී තිබූ බංග්ලාදේශ සංචාරයද කල් දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය. කෙසේ වුවත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ජූලි මාසයේදී පැවැත්වීමට යොදා තිබූ එක්දින තරගාවලිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල මේ දිනවල සාකච්ඡා කරමින් සිටියි.
 
-036
 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කාලසටහනේ ආරම්භය තවත් ඈතට ඇදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.