Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය 1-1 කින් තරගාවලිය සම කරයි

එංගලන්තය 1-1 කින් තරගාවලිය සම කරයි

editorial - 2020 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්සන්බර්ග්හිදී ඊයේ (10 වැනිදා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කළ එංගලන්තය දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 43.2 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. දක්ෂ පිතිහරඹයක නිතර වූ ජෝ ඩෙන්ලි පන්දු 79 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 66 ක් රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.

ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ ජේසන් රෝයි (21) සහ ජොනී බෙයාස්ටෝ (43) පන්දු 38 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 21 කදී වාර්තා වූ රෝයිගේ ඉනිමට හයේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 23 කදී වාර්තා වූ බෙයාස්ටෝගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ජෝ රූට් පන්දු 52 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 49 ක් ලබා අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී ත්‍රබේස් ශම්ෂිගේ පන්දුවක් හමුවේ ටෙම්බා බවුමා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක් රැස්කළ ටොම් බැන්ටන් දැවී ගියේ බියුරන් හෙන්ඩ්‍රික්ස්ගේ පන්දුවක් හමුවේ ක්වින්ටින් ඩි’කොක් අතට උඩ පන්දුවක් දෙමිනි.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ බියුරන් හෙන්ඩි්‍රක්ස් සහ ලුංගි න්ගිඩි කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වුවද, එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීමට ඔවුහු අපොහොසත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 256 ක් ලබාගත් අතර දකුණු අප්‍රිකානු ඉනිම නිමවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ඩේවිඩ් මිලර් පන්දු 53 කදී නොදැවී ලකුණු 69 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 23 ක් වන විට දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස රීසා හෙන්ඩි්‍රස්ක් ලකුණු 11 කට දැවීගිය අතර එතැන් පටන් ටෙම්බා බවුමා (29) සමග එක්ව පන්දු 76 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නායක ක්වින්ටින් ඩි’කොක් (69) සමත් විය. පන්දු 81 කදී වාර්තා වූ ඩි’කොක්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය.

එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ ආදිල් රෂීඞ්, ඩි’කොක්ගේ සහ බවුමාගේ කඩුලු 2 ද සමග ලකුණු 51 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත්විය.


දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 256
(ක්වින්ටින් ඩි’කොක් 69, ටෙම්බා බව්මා 29, ජේ.ජේ. ස්මට්ස් 31, ඬේවිඞ් මිලර් නොදැවී 69, ඇන්ඩිල් පෙලුක්වායෝ 14, ආදිල් රෂීඩ් 51/3)

එංගලන්තය - ඕවර 43.2 කදී කඩුලු 8 ක් දැවී 257  
(ජේසන් රෝයි 21, ජොනී බෙයාස්ටෝ 43, ජෝ රූට් 49, ජෝ ඩෙන්ලි 66, ටොම් බැන්ටන් 32, බියුරන් හෙන්ඩ්‍රික්ස් 59/3, ලුංගි න්ගිඩි 63/3)


-036

 


අදහස් (0)

එංගලන්තය 1-1 කින් තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.