Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත පන්දු යවන්නෝ පුහුණුව අරඹති

එංගලන්ත පන්දු යවන්නෝ පුහුණුව අරඹති

editorial - 2020 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොරොනා වසංගතය හේතුවෙන් දැඩි ලෙස ප්‍රමාද වූ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග වාරය ආරම්භ කිරීමට ක්‍රිකට් ප්‍රධානීහු සැලසුම් කරමින් සිටිති. ඒ අතරවාරයේදී එංගලන්ත පන්දු යවන්නෝ කුඩා කණ්ඩායම් වශයෙන් පුහුණුවීම් ආරම්භ කළහ.

කොරෝනා අර්බුදය හේතුවෙන් ජුලි මස 1 වැනිදා දක්වා එංගලන්තයේ සියලුම ක්‍රීඩා තරග අත්හිටුවා ඇති අතර සෙසු රටවල් මේ වන විට ක්‍රම ක්‍රමයෙන් යළිත් යථා තත්වයට අනුගත වෙමින් සිටී. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයද බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියෙන් 2020 ගිම්හානයේ තරග කාලසටහන ආරම්භ කිරීමට සූදානම් වෙයි. සිය රට තුළ පූර්ණ ජාත්‍යන්තර තරග මාලාවක් පැවැත්වීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීහු සැලසුම් කරමින් සිටිති.

එංගලන්ත වේග පන්දු යවන්නකු වන ක්‍රිස් වෝක්ස් බ්‍රහස්පතින්දා (21) පළමු පුහුණු සැසිය සඳහා සිය ප්‍රාන්ත ක්‍රීඩා සමාජ පිටිය වන එජ්බැස්ටන් වෙත පැමිණ සිටියේය. එය එක් එක් ක්‍රීඩකයන් සඳහා වූ පැයක පුහුණු කාලයකි.

එංගලන්ත පිලේ පන්දු යවන්නන් 18 දෙනකු ක්‍රීඩාංගණ හතකදී පුහුණුවීම් ආරම්භ කළ අතර ක්‍රීඩකයන්ට අමතරව ඒ ඒ ක්‍රීඩාංගණ වල සිටියේ භෞතචිකිත්සකවරයකු පමණි. කොරෝනා වයිරසයෙන් පසුව පනවන ලද නීතිරීති අනුව ක්‍රීඩකයන්ට ක්‍රීඩක විවේකාගාරය භාවිතා කිරීම තහනම් කර තිබුණු අතර තමන් විසින්ම තෝරාගන්නා ලද පන්දු කිහිපයක් පුහුණුව සඳහා භාවිතා කළ හැකිවිය.
ඔවුන්ට නිතිපතා විෂබීජ නාශක යොදා අත් සේදීමටත්, භාවිතා කරන ඕනෑම උපකරණයක් පිරිසිදු කිරීමටත් අනිවාර්ය කර තිබේ.

“අපි මෙතෙක් හුරු පුරුදු වෙලා හිටපු ක්‍රම වලට වඩා මේක සෑහෙන්න වෙනස්...”
“ඒත්, ඇත්තම කියනවා නම්, ආපසු පුහුණුවීම් ආරම්භ කිරීමට හැකිවීම නම් හොඳ දෙයක්. පන්දුව ආයිමත් අතේ ගෑවෙන එක හරිම ආනන්දජනක හැඟීමක්” යයි 31 හැවිරිදි ක්‍රිස් වෝක්ස් පැවසීය. වෝක්ස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 33 කට සහභාගි වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් සහ කඩුලු රකින්නන් ජූනි මස 1 වැනිදා පුහුණුවට කැඳවා තිබේ. පුහුණුවීම් සඳහා එජ්බැස්ටන්, හෝවි, ඕල්ඞ්ට්‍රැෆර්ඞ්, ලන්ඩන් ඕවල්, රිවර්සයිඞ්, ටවුන්ටන් සහ ටේ‍රන්ට්බි්‍රජ් යන ක්‍රීඩාංගණ භාවිතා කෙරේ.

පුහුණුවීම් සඳහා එක්වන පන්දු යවන්නන්ගේ අනන්‍යතාවයන් තවමත් ප්‍රසිද්ධ කර නොමැති නමුත් ක්‍රීඩාංගණ තෝරාගැනීමේදී පෙනී යන්නේ ජේම්ස් ඇන්ඩර්සන් (ඕල්ඞ්ට්‍රැෆර්ඞ්) සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් (ටේ‍රන්ට්බ්‍රිජ්) වැනි ප්‍රමුඛ පෙළේ පන්දු යවන්නන් ඔවුන්ගේ ප්‍රාන්ත ක්‍රීඩාංගණනවලදී පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවය.

එංගලන්ත ක්‍රීඩකයන් සහභාගි වන පුහුණු සැසි, සුපිරි වෙළඳසැලකට යන ගමනකට වඩා ආරක්ෂිත විය යුතු යැයි තමා අපේක්ෂා කරන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමණාකාර අධ්‍යක්ෂ ඈෂ්ලි ජයිල්ස් මහතා පැවසීය.

ජූලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්ත ක්‍රීඩකයෝ සූදානම් වීම ආරම්භ කළහ. එය නරඹන්නන් නොමැතිව පැවැත්වෙන, තරග 3 කින් සමන්විත තරගාවලියකි. බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියට අමතරව 2020 ගිම්හානයේ එංගලන්තයේ ක්‍රිකට් කාලසටහනට පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් සහ ඕස්ට්‍රේලියාවට සහ අයර්ලන්තයට එරෙහිව සීමිත ඕවර තරගාවලි දෙකක්ද ඇතුළත්ව තිබේ. විෂබීජහරණය කළ ක්‍රීඩාංගණ තුළ ප්‍රේක්ෂකයන් නොමැතිව එම තරගාවලි පැවැත්වීමට නියමිතය.


-036

 


අදහස් (0)

එංගලන්ත පන්දු යවන්නෝ පුහුණුව අරඹති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.