Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසුරු උදාන ලකුණු 16 රැකගනී
කොළඹ - මහනුවර තරගය

ඉසුරු උදාන ලකුණු 16 රැකගනී

editorial - 2020 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොළඹ කිංග්ස් සහ මහනුවර ටස්කර්ස් කණ්ඩායම් අතර හම්බන්තොටදී අද පැවැති එල්.පී.එල්. තරගයේ සුපිරි ඕවරයේදී ජය වාර්තා කිරීමට කොළඹ කිංග්ස් කණ්ඩායම සමත් විය.

නියමිත ඕවර 20 අවසානයේදී දෙපිලම ලකුණු 219 ක් බැගින් ලබාගත්හ. අනතුරුව යැවුණු සුපිරි ඕවරයේදී කොළඹ පිල ලකුණු 16 ක් ලබාගත් අතර මහනුවර ටස්කර්ස් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 12 ක් පමණි. 

කොළඹ - සුපිරි ඕවරයේදී ලකුණු 16 ක්
හතරේ පහරක් සහ හයේ පහරක් පමණක් තිබූ සුපිරි ඕවරයේදී කොළඹ පිලට ලකුණු 16 ක්

ඕවර 20 - 219/7
තරගාවලියේ පළමු තරගයම ලකුණු සමවෙයි. කදිම තරගයක්..
ඒත් දැන් තවත් ඕවරයක් යවන්න වෙනවා. සුපිරි ඕවරයේ ජය කාටද ? 

ඕවර 19 - 200/6
යන්තම් ලකුණු 200 සීමාවට ආවත් ටිකක් විතර ප්‍රමාදයි. අවසන් ඕවරයේදී ලකුණු 20 ක් ඕනා...
ගහන්න බැරිත් නෑ... වතාවක් (1992 දි) කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගයකදී අර්ජුන ඕස්ට්‍රේලියාවේ ක්‍රෙග් මැක්ඩොමට්ට එක ඕවරයකදි ලකුණු 20 ක් ගැහැව්වා

ඕවර 18 - 185/6
ඉසුරු උදානගෙන් කවිශ්ක අංජුලට හයේ පහර දෙකක්. කොළඹ බලාපොරොත්තු තවමත් රැඳී තියේ

ඕවර 17 - 168/6
නුවන් ප්‍රදීප්ගේ පන්දුවකින් අශාන් ප්‍රියන්ජන් දැවී යයි. එහෙත් කොළඹ පිලට සිදුවූ බරපතළම පාඩුව වූයේ එයින් පන්දු දෙකකට පසුව ප්‍රදීප් තරමක් වේගය අඩාළ කරමින් යැවූ පන්දුවකට ගැසූ පුල් පහරක් වැරදී යාමෙන් ඔන්ඩ්‍රි රසල් දැවී යාමයි. මෙම දැවී යාම කොළඹ පිලේ ලකුණු වේගය අඩාල වීමට විශාල ලෙසින් බලපානු ඇත.

ඕවර 16 - 165/4
රසල් නම් නියමිත වේගයෙන් යනවා.... පන්දු 10 යි... ලකුණු 24 යි... පන්දු 5 කින් ලකුණු 6 ක් ලබා සිටින             අශාන් ප්‍රියන්ජන්ට පුළුවන්ද... ප්‍රශ්නය ඒකයි...

ඕවර 15 - 150/4
ඔන්ඩ්‍ර් රසල් අත තියෙන්නේ පිත්තක්ද නැත්නම් පොරොවක්ද. පාර දෙකම දර පළනවා වගේ. තත්ත්පර කීපයක් ඇතුළත පන්දුව හතරේ සීමාව පසුකරලා...ඒත් දැන් දැන් ලකුණු වේගය ගැන ටිකක් හිතන්න වෙනවා... තරගය ජයගන්න නම් අවසන් ඕවර 5 දී ලකුණු 70 ක් ඕනා..

ඕවර 14 - 138/4
සීක්කුගේ ප්‍රසන්නගේ පන්දුවක් ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ලේ පා ඉන්න මත තිබූ බේලය බිම දමයි. පන්දු 8 ක් ඇතුළත හොඳම පිතිකරුවෝ තිදෙනක් ආපසු ක්‍රීඩාගාරයට යති.
කොළඹ තත්ත්වය අවදානම්... එහෙත් ඕන්ඩ්‍රි රසල් කණ්ඩායමේ බලාපොරොත්තු රඳවාගෙන සිටී.

ඕවර 13 - 132/3
පිට පිටම පන්දු දෙකකදී ලකුණු අතර සිටි පිතිකරුවෝ දෙදෙනාම දැවී යති. මහනුවර නායකයාට අවශ්‍යව තිබූ වෙනස නවීඩ් උල් හක් කරලා දෙයි. කොළඹ පිල තරමක් සසළ වී තිබේ.
දිනේෂ් චන්දිමාල් - ඇ.නුවන් ප්‍රදීප් ප.නවීඩ් උල් හක් 80 (පන්දු 46, 4X12 යි, 6 X2)
තීක්ෂල ද සිල්වා  - ඇ.ගුර්බාස් ප.නවීඩ් උල් හක් 22 (පන්දු 16යි, 4X1 යි, 6 X1)

ඕවර 12 - 129/1
ඔන්න තික්ෂිල ද සිල්වා ප්‍රහාරය ආරම්භ කරන්නයි යන්නේ.... පන්දු 14 කින් ලකුණු 21 යි


ඕවර 11 - 118/1
චන්දිමාල්ගේ ඒ හයේ පහර.... අති විශිෂ්ටයි.... අලංකාරයි...
ලොෆ්ටඩ් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් නැතනම් පන්දු යවන්නාගේ හිසට ඉහලින් ගහන සෘජු ඩ්‍රයිව් පහරකට මීටත් වඩා හොඳ නිදර්ශනයක් තවත් නෑ...
පන්දු යැවූ නුවන් ප්‍රදීප් වුණත් ඒ වගේ පහරක් වැදීම ගැන දුකක් හිතන එකක් නෑ. මොකද ඒක ඒ තරමටම අලංකාර පහරක්... වෙනත් රටවල නම් මේ වගේ වෙලාවල පන්දු යවන්නා පිතිකරුවාට ප්‍රශංසා කරනවා.

ඕවර 10 - 107/1
කදිම තරගයක් වෙන්නයි යන්නේ.... ඕවර 10 කදී අපේක්ෂිත ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 3 යි අඩු.... ඒ කියන්නේ ඕවරයකදී ලකුණු 11 වේගය....
චන්දිමාල් පන්දු 36 කින් ලකුණු 66 ක්. හතරේ පහර 11 යි හයේ පහරයි


ඕවර 9 - 95/1
චන්දිමාල් ලකුණු ලබාගන්නවා විතරක් නෙමේ... කණ්ඩායමේ බර කරට අරන් පන්දුවට පහර දෙනවා. අතිරේක අවදානමක් ගන්නේ නෑ... ඒත් ලකුණු ලබාගන්න තියෙන කුඩාම අවස්ථාවේදීත් උපරිම ප්‍රයෝජන ගන්නවා... කොරෝනා කාලයේදී බොහෝ කැපවීම් කරලා තියෙන බවක් පේනවා...

ඕවර 8 - 89/1
කොළඹ පිතිකරුවන් තවමත් ඉන්සේ ප්‍රස්ථාරයේ නියම වක්‍රයේ... ලකුණු වේගය 11 ට වැඩියි. චන්දිමාල් පන්දු 30 කින් ලකුණු 57 යි...


ඕවර 7 - 77/1
අවශ්‍ය ලකුණු වේගය පවත්වාගෙන යනවා... මේ විදිහට ඕවර 15 ක් විතර යන්න පුළුවන් නම් අවසන් ඕවර 5 දී ඉතාම හොඳ තරගයක් බලාගන්න පුළුවන්

ඕවර 6 - 65/1
අසේල ගුණරත්නගේ පළමු පන්දුවම හයේ පහරක් බවට පරිවර්තනය කළ ලෝරි එවනස් ඊළඟ පන්දුවේදී දැවී යයි. අසේලගේ ඒ පන්දුවට කඩුල්ලක් ලැබීම අපේක්ෂා කරන්න බැරි වුණත් පිතිකරුවාගේ පහර අවසන් මොහොතේදී ඉතා සියුම් අවාසියක් ගෙනාවා. උඩපන්දුව රැකගත්තේ මිඩ් විකට්හි සිටි ප්‍රියමාල් පෙරේරා.
ලෝරි එවන්ස්  - ලකුණු 22 යි (පන්දු 14 යි, 4 X1 යි, 6 X 2යි)


ඕවර 5 - 58/0
ටිකක් විතර පිතිකරුවන් පාලනය කරගත් ඕවරයක්

ඕවර 4 - 50/0
චන්දිමාල් වෙනස් වෙලා
මේ නම් වෙනදා දැකලා පුරුදු චන්දිමාල් නෙමේ... පන්දු 15 යි. ලකුණු 31 යි. මේ ඕවරයේදී විතරක් පිට පිටම පන්දු 4 කදී ලකුණු 18 ක්. ඉර්ෆාන් පතන්ගේ පන්දු 4 ක් චන්දිමාල්ගේ පිත්තේ වැදී හතරේ සීමාව කරා ගියේ 6, 4, 4, 4 ක් විදිහට.
වැදගත්ම දේ තමයි මේවා එකක්වත් අසම්මත පහර නෙමේ. ක්‍රිකට් පොතේ සම්මත පහර. ඉතාම අලංකාර පහරවල්...


ඕවර 3 - 31/0
පිතිකරුවන්ගේ පැත්තෙන් බැලුවාම සාර්ථක ඕවරයක්.... මොකද මේ වෙලාවේ අපේක්ෂිත ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 2 ක් විතරයි පසුපසින් ඉන්නේ

 

ඕවර 2 - 15/0
තනි ලකුණු 4 ක් සහ ද්විත්ව ලකුණක්. මේ විදිහට ගියොත් නම් 220 ක් කොහොම හඹා යන්නද මන්දා.. මොකද මේ ඉනිමේදී අපේක්ෂා කරන ලකුණු වේගය ඕවරයකදී ලකුණු 11 ක්. මේකෙන් වැඩිය පහළට වැටුණොත් අවසන් හරියේදී වැඩේ අමාරු වෙනවා.


ඕවර 1 - 9/0
ලෝරි එවන්ස් සහ දිනේෂ් චන්දිමාල් ඉනිම ආරම්භ කරති. චන්දිමාල් පළමු පන්දුවට මුහුණ දුන්නත් පළමු පන්දුවේදීම අතිරේක 

 


ඕවර 20 - 219/3
ශතකය පෙනි පෙනී කුසල් පෙරේරා දැවී යයි. අෂාන් ප්‍රියන්ජන් ආපසු හැරී දිවයමින් රැකගත් උඩපන්දුව විශිෂ්ටය. පන්දු 52 කට මුහුණ දුන් කුසල් පෙරේරා, හතරේ පහර 9 ක් සහ හයේ පහර 4 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.


ඕවර 19 - 207/2
තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේදීම පිතිකරුවෝ ලකුණු 200 සීමාව පසුකරති. මෙම තරගාවලිය සඳහා කොයිතරම් අගනා තණතීරුවක් සකස්කර ඇතිද යන්න වටහා ගැනීමට කදිම සාක්ෂියකි.


ඕවර 18 - 194/2
කුසල් පෙරේරා ශතකය කරා යන බවක් පෙනෙන්නට තිබේ. අසේල ගුණරත්නගෙන්ද හොඳ සහයෝගයකි. 

ඕවර 17 - 180/2
දුෂ්මන්ත චමීරට දරුණු ප්‍රහාරයක්.
සම්පූර්ණ ඕවරයටම තනිවම මුහුණ දුන් කුසල් පෙරේරා පළමු පන්දු දෙකේදී ලකුණු ලබා නොගත් නමුත් ඊළඟ පන්දු හතරට සංග්‍රහ කළේ 4, 4, 4, සහ 6 ක් ලෙසිනි

ඕවර 16 - 162/2
කුසල් ජනිත් පෙරේරා කඩුල්ල  මුවා කිරීමේ වරදට හසුව දවාගැනීමට විනිසුරු තීරණ විමසීමේ සහාය ඉල්ලා සිටියද පිටියේ විනිසුරුවරයා නිවැරදි බව තහවුරු වෙයි. පන්දු 39 කින් ලකුණු 57 ක් ලබා සිටි කුසල් පෙරේරා කඩුල්ල රැකගනී


ඕවර 15 - 149/2
නැවතත් පන්දු 6 ට තනි ලකුණු 6 ක්


ඕවර 14 - 143/2
පන්දු 6 ට තනි ලකුණු 6 ක්


ඕවර 13 - 137/2
දිනේෂ් චන්දිමාල්ගේ අති විශිෂ්ට පන්දු රැකීමක් නිසා කුසල් මෙන්ඩිස්ගේ ඉනිම නිමා වෙයි. පන්දුව ස්ලිප් කලාපය හරහා තර්ඩ් මෑන් වෙතට යැවීම මෙන්ඩිස්ගේ උත්සාහය විය. එහෙත් පිතිකරුවා වෙතට දෝලනය වූ මන්ප්‍රීත් ගෝනිගේ පන්දුව පිත්තේ වැදුණේ මෙන්ඩිස් අපේක්ෂා කළ  ස්ථානයේ නොවේ. ප්‍රතිඵලය වූයේ චන්දිමාල්ට උඩපන්දුවක් ලැබීමයි.


ඕවර 12 - 132/1
මෙන්ඩිස්ගෙන් තවත් හයේ පහරක්.

ඕවර 11 - 122/1
කුසල් මෙන්ඩිස් තරමක ඉදිරි පියවරක් ගන්නා හැඩයි. ඕවරයේදී වාර්තා වූ ලකුණු 13 න් ලකුණු 11 ක්ම මෙන්ඩිස්ගෙන්


ඕවර 10 - 109/1
පන්දු යවන්නන්ගේ අණසක තිබූ තවත් ඕවරයක්


ඕවර 9 - 103/1
කුසල්ලා දෙදෙනාගෙන් පන්දු 6 කට ලකුණු 3 ක් (තනි ලකුණු) පමණයි.


ඕවර 8 - 100/1
ලකුණු ලබාගැනීම තරමක් පාලනය වූ ඕවරයක්

ඕවර 7 - 94/1
කුසල්ගෙන් තවත් හයේ පහරක්... මෙතෙක් වේලා තරමක් නිසංසලව සිටි කුසල් ජනිත් දැන් අත දිගහැර පහර දීමට උත්සාහ කරන බවක් පෙනේ.. කුසල් මෙන්ඩිස්ට ඇත්තේ පන්දු රකින්නන් අතර පරතරය අතරින් පන්දුව යවා තමන්ගේ ජ්‍යෙෂ්ඨයාට අවස්ථාව දීම පමණි.

ඕවර 6 - 79/1
තරගාවලියේ පළමු කඩුල්ල දවාගත් ක්‍රීඩකයා, 20 හැවිරිදි ක්වයිස් අහමඩ්.
ක්වයිස් අහමඩ් හමුවේ පිට පිට හයේ පහර දෙකක් ගැසූ ගුර්බාස්ගේ තුන්වැනි පහර වැරදී ගියේය. කවර්ස් ස්ථානයේ සිටි ලෝරි එවන්ස්ට පහසු උඩපන්දුවක් ලැබිණ.

ඕවර 5 - 62/0
පිතිකරුවන්ට කිසිම තර්ජනයක් නැති ගානයි.
දුෂ්මන්ත චමීරගේ පළමු ඕවරයෙන් ලකුණු 14 යි. ඉසුරු උදානගේ පළමු ඕවරයට ලකුණු 10 යි. දෙදෙනාගේ ඕවර 2 ට ලකුණු 24 යි

ඕවර 4 - 52/0
තවත් ලකුණු 14 ක් දුන් ඕවරයක්.

ගුර්බාස් ගැසූ වේගවත් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරකින් පන්දුව ඇදී යද්දී පන්දු යැවූ ඉසුරු උදානගේ අතේ වැදී පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ලේ වැදිණ. ඒ අන්තයේ සිටි පිතිකරුවා දැවී ගියේ යයි උදාන කළ ඉල්ලීමට විනිසුරු ලින්ඩන් හැනිබල්  මහතාගේ අනුමැතිය ලැබුණද රූපවාහිනී විනිසුරුවරාගේ තීරණය වූයේ කුසල් දැවී නොගිය බවයි.

ඕවර 3 - 38/0
මැතිව්ස් දැඩි ප්‍රහාරයකට ලක්වූ ඕවරයක්..

කුසල් පෙරේරා ලබාගත්තේ එක ලකුණක් වූවත් ගුල්බාස්ගෙන් මැතිව්ස්ට දරුණු ප්‍රහාරයක්.. 4,6,4,4 ක් ලෙසින් පිට පිටම පන්දු 4 කදී ලකුණු 18 ක් ...

ගුර්බාස් පන්දු 14 කින් ලකුණු 31 යි....අවුරුදු 18 පොඩි එකා වුණාට වැඩ පොඩි නෑ....

ඕවර 2 - 12/0
තරගාවලියේ පළමු හයේ පහර... රහමනුල්ලා ගුර්බාස්ගෙන් ඉන්දීය ක්‍රීඩක මන්ප්‍රීත් ගෝනිට...

ඕවර 1 - 7/0
තරගාවලියේ පළමු හතරේ පහර කුසල් පෙරේරාගෙන්... එයද කිසිදා අන්සතු නොවන වාර්තාවකි. තරගාවලියේ පළමු පන්දුවට මුහුණ දුන්නේ ඇෆ්ඝනිස්ථානු ජාතික, 18 හැවිරිදි රනමුල්ලා ගුර්බාස් වූවත් පළමු හතරේ පහර ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ සදාතනික වීරයකුට හිමිවිය.. (2018 ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගාවලියේ ඩර්බන් ටෙස්ට් තරගය බලන්න)
තරගාවලියේ පළමු පන්දුව යැවීමට ඇන්ජලෝ මැතිව්ස් දිව එයි....

ඓතිහාසික අවස්ථාව තමන් සතුකරගැනීමට කොළඹ කිංග්ස් නායකයා ගෙන ඇත්තේ අගනා තීරණයකි. මෙම වාර්තාව කිසිදා අනෙකකුට සතුකර ගත නොහැකිය.

 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් අද (26 වැනිදා) පැවැත්වෙන මහනුවර ටස්කර්ස් සහ කොළඹ කිංග්ස් කණ්ඩායම් අතර පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

විදෙස් ක්‍රීඩකයන් ලෙස ඔන්ඩි්‍ර රසල්, මන්ප්‍රීත් ගෝනි, ලෝරි එවන්ස් සහ ක්වායිස් අහමඞ් අද තරගයේදී කොළඹ කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඉර්ෆාන් පතන්, නවීඞ් උල් හක් සහ රහමතුල්ලා ගුර්බාස් මහනුවර ටස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරති.

මහනුවර ටස්කර්ස් කණ්ඩායම
කුසල් ජනිත් (නායක), කුසල් මෙන්ඩිස්, ඉර්ෆාන් පතන්, නවීඞ් උල් හක්, රහමතුල්ලා ගුර්බාස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය.

කොළඹ කිංග්ස් කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ඔන්ඩි්‍ර රසල්, මන්ප්‍රීත් ගෝනි, ලෝරි එවන්ස්, ක්වායිස් අහමඞ්, ඉසුරු උදාන, අමිල අපොන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, තික්ෂිල ද සිල්වා

 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මහත් උනන්දුවක් දක්වන අයකු ලෙසින් ප්‍රචලිත ඩැනියෙල් ඇලෙක්සැන්ඩර් මහතා මෙම තරගාවලිය සම්බන්ධයෙන් ‘ක්‍රික් ඉන්ෆෝ‘ වෙබ් අඩවියට පවසා තිබුණේ මෙවැන්නකි.

"ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට තමන්ගේ දක්ෂතා විදහා පෙන්වීමට එල්.පී.එල්. තරගාවලිය හොඳ අවස්ථාවක්. මේ ලීගය මගින් ජාත්‍යන්තර තලයට අලුත්ම ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු බිහි කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" යයි ඩැනියෙල් ඇලෙක්සැන්ඩර් මහතා කීවේය.

 

අද රාත්‍රියේ පැවැත්වෙන තරගය සඳහා ටස්කර්ස් පිල සතුව ඇත්තේ විදේශීය ක්‍රීඩකයින් තිදෙනෙකු පමණි - ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක්, ඇෆ්ගනිස්ථාන කඩුලු රකින්නා මෙන්ම පිතිකරුවෙකුද වන රහමුනුල්ලා ගුර්බාස් සහ ඉන්දියාවේ හිටපු මඳ වේගී පන්දු යවන ඉර්ෆාන් පතන්ය.

ඉර්ෆාන් අවුරුදු දෙකකින් ක්‍රීඩා කර නැත, එබැවින් ඔහු මෙම තරගාවලියේදී කෙසේ ක්‍රීඩා කරන්නේද යන්න බලා සිටීම වටී.

බ්‍රෙන්ඩන් ටේලර් සහ මුනාෆ් පටෙල් ශ්‍රී ලංකාවේ සිටින නමුත් ඔවුන්ගේ නිරෝධායන සම්පූර්ණ කර නොමැති බැවින් ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වෙන තරග සඳහා පමණක් සහභාගි වනු ඇත. 

 

අද... 2020 නොවැම්බර් 26 වැනිදා,

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී දිනයක් ලෙසින් සටහන් වනු ඇත. නිසැකයෙන්ම එය ඉතිහාස පොතට යන නමුත් අනාගතයේ දිනයකදී ඒ ඉතිහාස පොත කියවන කිසිවකුගේ සැකයට තුඩුදෙන පළමු කාරණය වනුනේ වර්ෂය ටක්කෙටම නිවැරදිද යන්නයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මුළු මහත් ලෝකයේම ජන ජීවිතය පමණක් නොව, ක්‍රීඩාවත් ආර්ථිකයත් විනාශ වී ගිය 2020 දී සැබවින්ම එවැන්නක් ආරම්භ වූවාද යන්න විශ්වාස කළ නොහැකි තරම්ය.
2020 යනු ඒ තරමටම විනාශකාරීවූ වර්ෂයකි.

එහෙත් සියලු අභියෝග හමුවේ නොසැලී ඉදිරියට ගිය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලධාරීහු, නොවැම්බර් 26 වැනිදා තරගාවලිය ආරම්භ කළහ. ඒ වෙනුවෙන් ඔවුන්ට ප්‍රණාමය හිමිවිය යුතුමය.


අදහස් (0)

ඉසුරු උදාන ලකුණු 16 රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.